Mountain View

Prayers for Bobby (2009)



Prayers for Bobby එම නමින්ම සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන රචිත කෘතිය අනුසාරයෙන් Russell Mulcahy නම් අධ්‍යක්‍ෂකවරයා විසින් ටෙලි චිත්‍රපටියක් ලෙස සිනමාවට නැගුණු 2009 වසරේ ජනවාරි 24 වන දින විකාශය ඇරඹි අනුවේදනීය හා ආදර්ශමත් සිනමා සිත්තමකි. මෙම චිත්‍රපටය​ට පාදකවන්නේ බොබී ග්‍රිෆිත් නම් නව යොවුන් වියේ පසුවන සමලිංගික තරුණයා, තමන් ගේ මවගේ හා සමාජයේ සමරිසි විරෝධී ආකල්ප දරා ගත නොහැකිව දිවිනසා ගැනීම හා ඉන් අනතුරුව ඔහුගේ මවගේ ඇතිවන ආකල්පමය විපර්යාසය සම්බන්ධවයි. 

2010 වසරේදී GLAAD Media Award for Outstanding TV Movie or Miniseries සම්මානයද, එම වසරේම Seattle Lesbian & Gay Film Festival සම්මාන උළෙලේ Audience Favorite Award සම්මානයද ඇතුළුව ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල් ගණනාවකදීම නිර්දේශිත නාමයන් අතරට පැමිණි සමරිසි නැමියාව තේමා කරගත් ගුණාත්මක චිත්‍රපටයක් රස විඳීමට බලා සිටින ඔබට නොපැකිළිව නිර්දේශ කල හැකි චිත්‍රපට අතර මුල් පෙළේ රැඳෙන්නකි.

කතාව ආරම්භවනුයේ 70 දශකයේ අග භාගයේදී කැලිෆෝනියාහි Walnut Creek ප්‍රදේශයේ වෙසෙන දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මධ්‍යම​ පාන්තික ග්‍රිෆිත් පවුලේ සිදුවන සිදුවීම් දාමයකිනි. බොහෝම සාමකාමීව, සතුටින් බැඳී සිටින ග්‍රිෆිත් පවුලේ පාදම වනුයේ මව වන මේරි ග්‍රිෆිත් ය. දැඩි ක්‍රිස්තුභක්තික කාන්තාවක වන ඇය හා ඇයගේ බාල පුතු බොබී ග්‍රිෆිත් මෙහි කේන්ද්‍ර​ගත චරිත ද්විත්වය වෙයි. කතාව ගලායන අතරතුර සිදුවන සමහර සිදුවීම් එම පවුලේ සමලිංගිකත්වය පිළිබඳ ඇති ආකල්පය ඔබේ අවධානයට ගෙනෙයි.

වරෙක පවුලේ උපන් දින සාදයක දී බොබීගේ වැඩිමහල් සොහොයුරා වන එඩ්වඩ් කල විහිළුවකට ප්‍රතිචාර​ ලෙස " සියළු සමලිංගිකයන් පෝළිමට තබා වෙඩි තැබිය යුතුයි" යනුවෙන් ආත්තම්මා පැවසීම එයට නිදසුනකි. 

මින් ඉදිරියට කතාව ගලා යනුයේ බොබීගේ සිතෙහි ඇතිවන හැඟීම් සහ ඔහු මුහුනදෙන ආතතිමය තත්වයන් පිළිබඳවය. ඒ කාලය වනවිට සමලිංගිකත්වය පිළිබඳව දැරූ සමාජ ආකල්පය දැඩි ලෙස ඔහුගේ සිතෙහි හොල්මන්කරන්නට වූයෙන් ද, ලිංගිකත්වය පිළිබඳ කුතුහලය අවදිවන නව යොවුන් වියේදී ඔහු ගැන අනුකම්පාවෙන් බලන කිසිවෙකුත් නොවූයෙන් ද වරක් වේදනා නාශක අධි මාත්‍රාවක් ගෙන දිවිනසාගැනීමට ද බොබී තැත් කරයි. අවසානයේ ඔහු තම සමරිසි නැමියාව පිලිබඳ, පවුලේ අන් කිසිවෙකුටත් හෙළි නොකරන පොරොන්දුව මත එඩ්ව්ඩ්ට පවසයි. නමුත්, තම බාල සහෝදරයාගේ ගැටළුවට විසඳුමක් ලබාදීමට මවට හැකිවේයැයි සිතන එඩ්, මේ බව ඇයට හෙළිකරන අතර එය පවුලේ තත්වය කනපිට පෙරළන සිදුවීමක් වෙයි. 

මේරි, බොබීගේ තත්වය පිළිබඳ දැඩි ලෙස කලබලවන අතර එය මානසික ව්‍යාධියක්යැයි යන මතයේ සිටින ඇය, සුවකරවාගැනීමට මගක් සොයමින් නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම​ වලට බොබී ලක්කරවයි. බයිබලයේ එක් පැරණි තෙස්තමේන්තුවක දැක්වෙන සමරිසි විරෝධී වදන් නැවත නැවතත් බොබී ඉදිරියේ ආවර්ජනය කරමින් ද වරෙක නොකඩවා ඔහුව මනෝවිද්‍යාත්මක උපදේශන වෙත යොමුකරවමින් ද තවත් වරෙක සම වයසේ ගැහැණු ළමුන් සමග සබඳතා ඇතිකරවා ගැනීමට පොලඹවමින් ද කටයුතු කරන මව තවදුරටත් බොබීව අසරණකරවයි. තම සිතැඟි වලට එකඟව කතාකිරීමටවත් කෙනෙකු නොමැතිව ඔහුගේ ලෝකයේ තනිවන බොබී, තම හෘද සාක්ෂිය හා දොඩමළුවෙමින් මේ සියල්ල දිනපොතක සටහන් කරයි.

මේ අතරවාරයේ පෝට්ලන්ඩ් ප්‍රදේශයේ වෙසෙන සමලිංගිකත්වය පිළිබඳ විවෘත මනසකින් යුතු ඥාති සහෝදරියක් බොබීගේ නිවසට පැමිණෙයි. ඇයගේ ආකල්පවලට බොබී වඩාත් සමීපවෙයි. මවගෙන් එල්ලවන පීඩනයන්ගෙන් සුළු හෝ අස්වැසිල්ලක් ලබන්නට සිතා බොබී ඇයගේ ආරාධනයෙන් කෙටි කාලයකට පෝට්ලන්ඩ් හි වාසයට යයි. එහි ගතකරන කාල සීමාව තුළ බොබී ජීවිතය විඳියි. නිදහස විඳියි. රිසිසේ සමලිංගිකයන් හා කල්ගතකරන්නට අවසර ලැබෙයි. ඔහුට ඩේවිඩ් මුණගැසෙන්නේත් මේ අතරතුරදීයි. පෝට්ලන්ඩ්හි වෙසෙන කාලයේදී ඔහු බොහෝ සෙයින් බොබීට සමීප වෙයි. 

ඩේවිඩ්ගෙන් ලද උත්ප්‍රේරණයත් සමඟ නැවත නිවසට පැමිණි අවස්ථාවේ තමාට පෝට්ලන්ඩ් හි පෙම්වතෙකු සිටින බව බොබී නොපැකිළිව මවට හෙළි කරයි. ඒ මොහොතේ ඇතිවන මත ගැටුම අවසන් වනුයේ ආවේගයත් සමඟ තමාට බොබී නම් පුතෙකු නොසිටි බවට සිතා ගන්නේයැයි මව විසින් පැවසීමෙනුයි. ඉන් දැඩි ලෙස කළකිරෙන බොබී නිවස හැර දමා පෝට්ලන්ඩ් පැමිණ රෝහල් සේවකයකු ලෙස රැකියාව අරඹයි. නැවතත් ඩේවිඩ් ගේ ආදරය බොබීගේ ලෝකයට පැමිණෙයි. ඩේවිඩ් තම දෙමව්පියන්ට පවා බොබීව හඳුන්වාදෙයි. නමුත්, තමන් ගේ සිතුවිලි අතර තනිවන සෑම මොහොතකම මවගේ වදන් ඔහුගේ මනසේ ප්‍රතිරාව දෙයි. ඔහු දැඩි ලෙස මානසිකව ඇද වැටෙයි. තනිව මුහුණ දිය නොහැකි තරමටම ආතතියට ලක් වෙයි. අවශ්‍ය මොහොතේදීම තමාට අස්වැසිල්ලක් වනු පිණිස ඩේවිඩ් සොයා යද්දී දක්නට ලැබෙනුයේ ඔහු වෙනත් තරුණයකු හා සිටින අයුරුයි. ජීවිතයට කිසිදු සරණක් නොමැතිව තනි වන බොබී අවසානයේ තම මවගේ හා සමාජ ආකල්පයන් ද ඩේවිඩ්ගේ වෙන්ස්වීම ද හේතුකොට ගෙන සිය දිවි නසා ගනී. 

එය මේ චිත්‍රපටයේ උච්චතම අවස්ථාවයි. බොබී පිළිබඳ දිගහැරුම එතැනින් අවසන් වන අතර චිත්‍රපටයේ දෙවන භාගය ඇරඹෙන්නේ ඉන් අනතුරුවය​. තම පුතුගේ හදිසි වියෝව දරා ගත නොහැකි වන මවගේද තම සහෝදරයාගේ වියෝවට තමාද හේතුවක් යැයි සිතන එඩීගේ ද ප්‍රතිචාරයන් අතිශය සංවේදී ලෙස දිග හැරෙන ආකාරය ඔබගේ නෙතට කඳුළු නංවනවා නොඅනුමානය​. 

කතාවේ හැරවුම් ලක්‍ෂය එසේ සනිටුහන් වෙද්දී, බොබීගේ හෘද සාක්‍ෂිය සටහන්ව තිබෙන දින පොත මවට හමුවේ. ඉන් ඉදිරියට මේරි ග්‍රිෆිත්ගේ සිතුවිලි ක්‍රියා කරනුයේ කෙසේද ? තම පුතුගේ ආත්මයට නිදහස ළඟා කරදීමට ඇය ගනු ලබන ක්‍රියා මාර්ග මොනවාද ? සමරිසි දරුවන් සිටින දෙමව්පියන්ගේ අත්දැකීමද සමලිංගිකත්වය ධනාත්මකව දකින පූජකතුමන්ගේ ආකල්පද මේරිව කෙලෙස වෙත්නස් කරයිද ? අවසානයේදී සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් ලෝකයේම අවධානයට ලක් වෙන චරිතයක් බවට මේරි ග්‍රිෆිත් පත්වන්නේ කෙසේද ? මෙම පැණයන්ට පිළිතුරු අපේක්‍ෂා කරනවානම් ඔබට Prayers for Bobby නරඹන්නට සිදුවේ.

මිනිත්තු 89 ක කාල සීමාවක් පුරා දිග හැරෙන Prayers for Bobby, සමරිසි නැමියාව කෙරෙහි ඇති සමාජ ආකල්ප දෙස​ නැවතත් සිතා බලන්නට ඉඩ සලසන විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයකි.

එය නරඹන තුරු මේරි ග්‍රිෆිත් විසින් සිදු කල ඓතිහාසික කතාවෙන් සංවේදි වදන් පෙළක් ඔබට ඉතිරිකර යන්නම්...
There are children, like Bobby, sitting in your congregations, unknown to you, they will be listening as you echo amen. And that will soon silence their prayers. Their prayers to God for understanding, and acceptance, and for your love. But your hatred, and fear, and ignorance of the word gay will silence those prayers. So...before you echo amen, in your home and place of worship...think! Think and remember. A child is listening.

 
  

IMDb Link
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment