Mountain View

Undertow (2009)



2009 සැප්තැම් බර් මස 23 වන දින තිරගත වීම ආරම්භ කල Undertow  (ස්පාඤ්ඤ බසින් Contracorriente) Javier Fuentes-León විසින් අධ්‍යක්‍ෂණය කල ස්පාඤ්ඤ බසින් දිග හැරෙන අපූර්ව සිනමා නිර්මාණයකි. 2010 වසරේ ඇමරිකාවේ Sundance Film Festival හි Dramatic Category යටතේ The World Cinema Audience Award සම්මානයද ඇතුළු සම්මාන රාශියකට හිමිකම් කියන මේ සිනමා කෘතිය 83 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපට කාණ්ඩයේ පේරු සිනමා නියෝජනයද වේ.

මේ සිනමා නිර්මාණයේ කතා සාරය කෙටියෙන් මෙලෙසිනි,
මිගෙල් (
Cristian Mercado) උතුරු පේරුහි Cabo Blanco නම් කුඩා ධීවර ගම්මානයේ ධීවරයෙකි. මේ ගම්මානයේ අවමංගල්‍යයන් සම්බන්ධයෙන් පවතිනුයේ විශේෂ චාරිත්‍ර විධික්‍රමයකි. මෙම කතාව ගලායාමේදී ඒ හා සම්බන්ධ වේ. මිගෙල් ගේ බිරිඳ මරියෙලා (Tatiana Astengo) ඇයගේ පළමු දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටින ගැබිණියකි. විවාහකයෙකු වුවද මිගෙල්, සන්තියාගෝ (Manolo Cardona) නැතිනම්, මිගෙල්ගේම ආදරණීය වදනින් තියාගෝ නම් මේ ප්‍රදේශයට ආගන්තුකයෙකු ලෙස පැමිණ තාවකාලිකව ලැගුම් ගෙන සිටින කඩවසම් සිත්තරෙකු හා රහසේ පෙම් සබඳතාවයක් පවත්වාගෙන යයි.

මිගෙල්ගේ පවුල් ජීවිතය හා රැකියාව සමාන්තරව ගලා යන අතරේම, ඔහුගේ සන්තියාගෝ සමග බැඳීම ද දැඩි හා ආදරණීය ලෙස වැඩේ. ලෝකයට රහසේ ඒ සබඳතාවය පවත්වාගෙන යාමේදී මුහුණ දීමට සිදුවන ගැටළු ද ඒ ආකාරයෙන්ම ඔවුන් හමුවේ වෙයි.

කතාව මෙසේ ගලායන අතරතුර නොසිතූ මොහොතක දියවැළකට හසුවීමෙන් තියාගෝට තම ජීවිතය අහිමි වෙයි. මිගෙල්ට තිබූ සීමා විරහිත ආදරය හේතුවෙන් තියාගෝගේ ආත්මයට මිගෙල් හැර දමා යා නොහැකි වෙයි.

 තියාගෝ කොරල්පර අතර සිරවූ  තමාගේ මල සිරුර සොයා ගැනීමට මිගෙල්ගේ සහය පතයි. තියාගෝට අවශ්‍යය වනුයේ ඔහුගේ මල සිරුර තම ආදරවන්තයාගේ කරමතින් ගෙන ගොස් ගමෙහි චාරිත්‍ර වලට අනුකූලව තම ආත්මයට නිදහස ලඟා කර ගැනීමටයි. මිගෙල්, තියාගෝගේ මල සිරුර සොයන කාලය ඇතුළත තියාගෝගේ ආත්මය ඔහුට තව තවත් සමීප වෙයි. තියාගෝගේ ආත්මය මිගෙල් හැර වෙන කෙනෙකුට නොපෙනෙන නිසා ඔවුන් දෙදෙනා ඒ නිදහස උපරිමයෙන් භුක්ති විඳියි. ඒ ආදරණීය දර්ශන ප්‍රේක්‍ෂකයාට සමරිසි ආදරයක ප්‍රේමණීයභාවය වෙසෙසින් කියා පායි.

තියාගෝගේ ආත්මය මිගෙල්ගේ ජීවිතයේ සෑම මොහොතකම, ඔහුගේ බිරිඳට දරුවා ලැබුනු මොහොතේ පවා ඔහුට පේන මානයෙන් දුක සැප බෙදා ගැනීමට සිටියි. 

මේ අතර වාරයේ අහඹු ලෙස කොරල් පර අතර සිරවී තිබෙන තියාගෝගේ සිරුර මිගෙල්ට හමුවේ. තියාගෝගේ ආත්මය සමග ගතකරන ඒ ප්‍රේමනීය කාලයට ලෝබ වන මිගෙල් එම මල සිරුර කොරල් පරයට බැඳ තබා එන්නේ තව දුරටත් තියාගෝ සමග මේ රහස් ප්‍රේමයේ රසය විඳීමේ ආශාවෙනි.

ඒ අතර තුර තියාගෝගේ නිවසේ තිබූ මිගෙල්ගේ නිරුවත් සිතුවමක් පිළිබඳ කටකතාවක් ගම්මානය පුරා පැතිර යයි. එය මිගෙල්ගේ බිරිඳට අසන්නට ලැබේ. ඒ අතරම කොරල් පර වලට ගැට ගසා තිබූ තියාගෝ ගේ මල සිරුර ද දිය වැල්වලට අසුවීමෙන් එතැනින් අතුරුදහන්ව තිබේ.

බිරිඳ​, කුළුඳුල් දරුවා හා ඔහුගේ ආදරණීය තියාගෝ අතර සිරවෙන මිගෙල් මේ සියළු මානසික ඝට්ටනයන්ට මුහුන දෙන්නේ කෙසේද ​? බිරිඳගේ
හැසිරීම කෙසේවේද​ ? මේ සියළු ගැටළු හමුවේ ඔහුගේ සමීපතම මිතුරන් හා අසල්වාසීන් ගේ ප්‍රතිචාර ය කෙබඳුවේද​ ? සන්තියාගෝගේ ආත්මයට නිදහස ලඟා කර ගත හැකි වේද​ ? මේ සියල්ලටම පිළිතුරු ලබා ගැනීමට නම්, ඔබට ඒ සිනමා සිත්තම නැරඹීමට සිදු වෙයි.මිනිත්තු 100ක කාල සීමාවක් පුරා ගුණාත්මක රීතියක් යටතේ ගලා යන සමරිසි ආදරය හා සමාජ මත ගැටුම්, අහිමි වීම ,ධෛර්යය හා දරාගැනීම සෙලෝලයිඩ් පටය මත දිග හැරෙන අපූරුව නරඹනු වටියි. එතෙක් තියාගෝගේ ආත්මය පළමු වරට මිගෙල් හමුවට පැමින කඳුළු පිරි දෙනෙතින් යුතුව කියන මේ කාව්‍යාත්මක වදන් පෙළ ඔබ හමුවේ තබන්නම්...


I went into the Ocean
The current pushed me against the rocks
and now nobody sees me
nobody hears me
I try to leave...
but... can't
It's like I am trapped here
with YOU...




IMDb Link
 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment