Mountain View

සිත පෙමට මුවා වූ දා ඉඳලා...




"හෙලෝ.. බබා ඔයා කොහෙද ඉන්නේ..??"

"මං කොහේ යන්නද සුදු අයියේ...?  ඔයා ඉන්න කියපු තැනම තමයි ඉන්නෙ.. දැන් පැය දෙකක් තිස්සෙ මං මෙතන..."

"අනේ සොරි රත්තරං.. මං මේ එනගමන්. මට තව විනාඩි පහක් දෙන්න.."

විනාඩි පහක් නෙමෙයි දෙයියනේ මං මගේ මුළු ජීවිතේම ඔයාට දීලා ඉවරයි.. මං එහෙම කිව්වේ හිතෙන්.

"පරිස්සමෙන් එන්න හොඳේ..."

අපේ ආදරේට දැන් අවුරුදු හතරකුත් වෙන්න ඇවිත්. ඉස්සර කවදාවත් ඔයා මාව මෙහෙම රස්තියාදු කරල නෑ.. වෙනදට පරක්කුවෙලා එන්නෙ මම. එහෙම පරක්කුවෙලා එද්දි මූණ බෙරිකරන් ඉන්න ඔයාව යාළුකරගන්න ම මට සෑහෙන වෙලාවක් යනවා. ඒත් දැන් ඔයා මාව බලන්න එන්නෙ හරියට ඇපේකින් බේරෙන්න වගේ. වෙනසට හේතුව මං දන්නව සුදු අයියේ. ඒක ඔයත් දන්නවා. ඒත් ඔයා කැමති නෑ ඔයා වෙනස් වෙලා කියල පිළිගන්න..

විනාඩි පහට තව පැය භාගයක් බලන් ඉන්නයි මට වුනේ. හිතට පොඩි තරහක් ආවත් ඔයාගෙ හිනාව ඒ සේරම නැතිකරල දානවා.

"සොරි චූටියෝ... අද දිල්කි අපේ ගෙදර ආව. අම්මගෙන් බේරිල්ලක් උනේ නෑ එයාව ගෙදරින් ඩ්‍රොප් කරන්න කියල. එයාව දාල එන්න ගියපු නිසයි පරක්කු වුනේ.."

අම්මගෙන් බේරිල්ලක් නැතිවුන නිසාමද ගියේ කියල අහන්න හිතුනත් මං ඒ ප්‍රශ්නෙ එළියට එන්න ඉඩක් දුන්නෙ නෑ. අඩුගානෙ පරක්කු වෙනව කියල කෝල් එකක්වත් දුන්න නම්... මං කෝල් කරලා අහනකන් ඔයාට මාව අමතක උනා නේද සුදු අයියේ...? අඬන්න එපා කියල උඩු හිත කොච්චර බල කලත් මුළු පපුවම පිච්චීගෙන වගේ ආපු ඉකියක් එක්ක මගේ ඇස් දෙකෙන් කඳුළු එළියට පැන්නෙ මටත් නොදැනිමයි.

"ඔය ඉතිං අඬනවද...?? පිස්සුනේ.. මේ මිනිස්සුත් බලන් ඉන්නව. එන්න, ඇවිත් කාර් එකට නගින්න. අපි කොහෙට හරි යමු.."

කාර් එකට නගිනව වෙනුවට මං කළේ එවෙලෙම එතනට ආපු බස් එකකට නැගපු එකයි. ඒක කොහෙට යන බස් එකක්ද කියලවත් බලන්න සිහියක් මට තිබුනෙ නෑ.. අනේ මං මේ නපුරු වෙනව නෙමෙයි රත්තරං.. මට මේ වෙන දේවල් වාවන්නෙ නෑ. දීපු රුපියල් විස්සට සෑහෙන දුරක් ආව කියල හිතුනම මං බස් එකෙන් බැස්ස. බැහැපු ගමන්ම මගේ ළඟ නවත්තපු කාර් එක වෙන කාගේවත් නෙමෙයි ඔයාගෙ. පහතට දාපු වීදුරුවෙන් මං දැක්කේ මගේ සුදු අයියගෙ මූණ නම් නෙමෙයි. කේන්තියෙන් කළු උන නපුරු මූණක්.

"මට කියල කණ පලාගන්නෙ නැතුව නගිනව ඇවිත් කාර් එකට.."

විරුද්ධ වෙන්නේ කොහොමද..? කාටත් වඩා හොඳින් මං ඔයාව දන්නව. ඒ වෙලාවෙ මගේ කණ පලනවට වැඩි දෙයක් උනත් කරන්න පුළුවන් තරම් කේන්තියකින් ඔයා හිටියේ. මේ කාර් එකේ ඔයාගෙ වම් පැත්තෙන් වාඩිවෙලා යන්න මං කොච්චර පෙරුම් පුරනවද..? ඒත් ඒකට උරුමක්කාරය මං නෙමෙයි කියල දැන දැනත් කොහොමද දෙයියනේ හිත හදාගන්නේ..??

මං කාර් එකට නැගපු ගමන්ම වේගෙන් අරගෙන ගියපු කාර් එක පාරක් අයිනෙන් නතර කරපු ඔයා සුක්කානමට ඔළුව ගහගෙන හෙලපු හුස්මෙ බර උහුලන්න තරම් මේ පපුව හයිය නෑ කියල ඔයා කවද තේරුම් ගනීවිද..??

"ඇයි බබා ඔයත් මට මෙහෙම කරන්නේ...? හැම පැත්තෙන්ම මම තැලෙනව. එක පැත්තකින් අම්ම. එහෙන් දිල්කි. මට හිතට සහනයක් දෙන්න ඉන්නෙ ඔයා විතරයි. දැන් ඔයත් මට මෙහෙම කරද්දී... මාව පිස්සෙක් කරන්න එපා වස්තුවේ..."

ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඔයා මෙහෙම කියද්දී තවත් හිත ගල් කරගෙන කොහොම ඉන්නද සුදු අයියේ.. හැම පැත්තකින්ම තැලෙන්නේ ඔයා නෙමෙයි මමයි කියන දේ ඔයා කවද හරි තේරුම් ගනීවි. ඒත් එදාට මේ චූටියගෙන් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙන එකක් නෑ. මං සෙල්ලම් බඩුවක් නෙමෙයි සුදු අයියේ..

මං ඉන්නම්... ඔයාට, ඔයාගෙ හිතට මං ඉන්න එක සැනසීමක් නම් මං ඉන්නම්.. මේක හීනයක්. කොයි මොහොතෙ හරි ඔයා මේ හීනෙන් ඇහැරිලා යාවි. එදාට මට මාව වත් ඉඳීවිද කියල මං දන්නෙ නෑ... ඒත් මං එකම එක දෙයක් දන්නවා. මට තවමත් මේ හීනෙන් ගැලවීමක් නැත්තේ ඒ නිසයි.. ඒකයි මං ඒ වෙලාවෙ ඔයාගෙ බෙල්ලෙ එල්ලිලා මෙහෙම කිව්වේ...

"මං ඔයාට ආදරෙයි මගේ සුදු අයියේ..."


සිත ඔබට මුවාවී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනාසි සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකිගසමින් හඩනා හැටි
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුවාවු දා ඉදලා

සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
ඔබ ඇයට ලගා වු දා ඉදලා
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment