මම එදාත් සුපුරුදු විදිහට ලෙක්චර්ස්
ඉවරවෙලා බම්බලපිටිය පැත්තට ඇවිදගෙන ගියා. රජ බොජුන් එක පහු කරගෙන යනකොට
ඉබේටම ඒ පැත්ත බැලුනේ ඔයා ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉස්සර අපි
දෙන්නා කාටවත් නොපෙනී පැය ගාණක් කතා කරන්න ඕනේ වුනාම එන තැන නිසා පුරුද්දට
වගේ බැලුණා. ඒත් හිතපු නැති විදිහට ඔයා මගේ ඉස්සරහා හිටගෙන. ඔයාත් මාව
දැක්කා කියලා මම දැක්කා. හිනා වෙන්නද නැත්නම් අහක බලාගෙන යන්නද කියලා මට
තේරුනේ නැ. මම එතන එහෙම්ම ම ගල් වුණා වගේ බලන් හිටියා.
ඒත් ඔයාට එහා පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා
කියල දැක්කාම මම නතර නොවුණා නම් කියලා හිතුනා.
ලා කහ පාට ඉරි වැටුණු අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා.. කලිසමට උඩින්
දාලා.. මතකද ඔය කමිසේ ගන්න ගිය වෙලේ හරියන එකක් වත් හොයාගන්න බැරි වුනාම
අපි වෙන කඩේකට යන්න හදද්දිම තමා මගේ අත වැදිලා රැක් එකක තිබුනු කමිස ඔක්කෝම
ටික පෙරළුනේ.. ඒ කමිස එකින් එක අහුලන කොට තමා ඔය කමිසේ ඔයා අතට අරන් මේක
හොඳයි නේ කියලා මගෙන් ඇහුව්වේ.. අපෝ.. එදා නම් මම කමිසේ හොඳ ද නරකද කියන්න
නෙවේයි ඒක කමිසයක්ද නැද්ද කියලා වත් කියන්න බැරි තරමට බය වෙලා හිටියේ..
වට්ටපු කමිස ඔක්කෝම අපිට ගන්න වෙයි කියලා.. කොහොම වුනත් එදා ඔයා කමිසෙත්
අරන් එළියට අවේ සුදු හැමදේම වෙන්නේ හොඳට නේ කියාගෙන.. හැමදේම වෙන්නේ හොඳට
නම් අද ඔයා මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නේත් හොඳටද විදූශ අයියේ..?
ඔයා මාව දැක්ක නොදැක්ක ගාණට කාර් එකට නැග්ගා. ආහ්.. ඔයා දැන් කාර් එකකුත්
අරන්නේ.. නැත්නම් ඕකත් දෑවැද්දට හම්බු වෙච්ච එකක්ද..? අනේ කමක් නැ.. ඔයා
සතුටින් වෙන්නැති නේ..
බීප්..බීප්... බීප්..බීප්..
one message received.
Vidhusha
මේ මොකද මේ වෙන්න යන්නේ? විදූශගෙන් මැසෙජ් එකක්.. මට පුදුමත් හිතුනා ඒක
දැක්කාම. අද මූණටම හම්බු වෙලත් මාව දැක්කේ නැ වගේ කාර් එකට නැගලා ගිය
මනුස්සයාගෙන් මැසෙජ් එකක්? කියන්න දෙයක් තිබුනා නම් කටින් කියන්න
තිබුනානේ...
"සුදූ.. ඔයාට කොහොමද? ඔයා මාත් එක්ක තරහින්ද? අද මම ඔයාව දැක්කා. ඒත් ඒ
වෙලේ කතා කරන්න ගියා නම් නතාශාටත් ඔයාව introduce කරන්න වෙනවා. එහෙම වුනා
නම් එයාට ඕනෙ වෙනවා ඔයාවත් අපි එක්ක කාර් එකේ දාගෙන යන්න. ඒ එයාගෙ හැටි.
මගේ යාලුවෝ එයාගෙත් යාලුවෝ කියල තමා එයා කියන්නේ. එහෙම වුනානම් ඔයාටත්
අමාරුයි නේ.. ඒකයි මම කතා නොකර ගියේ.. මාත් එක්ක තරහ වෙන්න එපා සුදූ.. මම
අසරණයි. take care. බුදු සරණයි.."
ඔයාගේ යාළුවෝ? මට එහෙම අහලා මැසේජ් එකක් යවන්න හිතුනත් බැඳපු ඔයාගේ ජීවිතේට
දැන් මම පරණ යාළුවෙක් විතරයි කියන එක මට පිළිගන්න වෙනවා. කමක් නැ විදූශ මම
තරහා නැ. ඔයා මාත් එක්ක කතා නොකර ගියපු එකටවත්, මාව දාලා ගිය එකටවත්, මට
දීපු පොරොන්දු කවදාවත් ඉටු නොකරපු එකටවත් මම තරහා නැ. ඒත් ඔයා අසරණ වෙලා නැ
විදූශ.. ඔයා නෙමෙයි මමයි අසරණ. ඔයාව අමතක කරන්න බැරුව දුක් විඳින මමයි
අසරණ.
අහම්බෙන් මුණගැහුනු අපි අපේ ජිවිත බෙදාගන්න තරම් ලංවුනේ කොහොමද කියන එක මට
අදටත් හීනයක්..
කවදාවත් කොල්ලෙක්ට ආදරේ කරන්න තියා
කොල්ලෙක් දිහා වෙනස් විදියකින් නොබලපු මම ඔයාට ආදරේ කරන්න ගත්තෙ පිස්සුවෙන්
වගේ. ඒ දවස් වල මේ පිස්සා කරපු අනන්තවත් පිස්සු වැඩ වලට කේන්ති නොගෙන "මං
ඔයාට ආදරෙයි මගෙ සුද්දෝ..." කියල මගෙන් හාද්දක් උදුරගෙන මහ සද්දෙන්
හිනාවුනේ ඔයා. ඉස්සර මං ඔය ලස්සන ඇස් දිහා බලාගෙන ඉන්න කොච්චර නම් ආස
කළාද..? කවදාවත් මගේ ඇස් මග ඇරලා කතාකරන්න මං ඔයාට ඉඩදීල නෑ.. ඒත් එදා මගේ
ඇස් දෙකට ඔය ලස්සන ඇස් එකම එක පාරක්වත් අල්ලගන්න ඔයා මට ඉඩක් දුන්නෙ නෑ...
කිරියි පැණියි වගේ උන්නු අපි දෙන්නට මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල අපේ
යාළුවො අහද්දී ඒකට දෙන්න උත්තරයක් ඔයා මට කියල දීල ගියෙත් නෑ විදූශ
අයියේ...
"සුදූ මට අපේ අම්මලට පිටින් යන්න බැ.. මට නතාශාව බඳින්න වෙනවා. මට
සමාවෙන්න. මම ඔයාට හැමදාම ආදරෙයි සුදූ..ඒත් අම්මලා ඉල්ලන එකම දේ නොදී ඉන්න
මට බැ සුදූ.."
එතකොට මගේ අම්මලා මගෙන් බලාපොරොත්තු වෙන දේවල්? ඒවා ගැන ඔයාට ගාණක් නැද්ද
විදූශ?
ඔයා දැන් රින්ග් කට් දුන්නට ඔයා එවපු මැසෙජ් එකට එවන්න රිප්ලයි එකක් මා ලඟ
නැ.
ඒත් ආයෙත් ඔයාව දැක්කොත් එදාටත් මම ගල්
ගැහිලා නතර වෙලා බලගෙන ඉඳියි. කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේකින් ම
වෙන්නේ ආයේ ආයේත් තුවාල පෑරෙන එක.. ඒ නිසාම ඔයා කතා නොකර යන එක හොඳයි
විදූශ.
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පෙනී
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි....
0 comments:
Post a Comment