Mountain View

මගේ ආදර කතාව




මඟට බසිද්දී වැටුණු හිරිපොද වැස්ස මොහොතකින් දෙකකින් මහා වැස්සක් බවට පත්විය. ඉහලාගෙන උන් කුඩයට දරාගන්නට බැරි තරම් ලොකු වැහි බිංදු වැටේ. මම මුවාවෙන්නට තැනක් සොයා පාර දෙපසටම නෙතු වෙහෙසීමි. සෑම පියස්සක් යටම, සෑම කඩපිලකම වැස්සට ගොඩ වූ සෙනඟය. පුංචි ඉඩක් සොයා මමත් ඒ අතරටම එක්වීමි. හැඳ උන් ඇඳුම හොඳටම තෙමී සිරුරට ඇලී ගොස්ය. වැස්ස..... නවතින පාටක් නැතිවම මහා හයියෙන් ඇද හැලේ. කඩපිල ඉදිරිපිට වැසි ජලය එකතු වී ලොකු මඩවලක් සෑදී ඇත. කඩදාසි බෝට්ටුවක් සාදා පා කර යවන්නට ඇත්නම්... මගේ බොළඳ සිතුවිලි ගැන මටම සිනහවක් නැගුණි.

වැස්සේ තෙමීගෙන හදිසියේම දිව ආ කිසිවෙකු මඩවතුර ගොඩට පය ගසා කඩපිලට ගොඩ විය. මා උන්නේ ඒ අසලමය. කහ පැහැති මඩවතුර මාගේ කමිසයත් කලිසමත් පුරාම විසිරුණි. ඔහුගේ නොසැලකිල්ල පිළිබඳ මට ඇතිවූයේ ඉවසුම් නොදෙන කෝපයකි.

"අනේ සොරි මල්ලි..."

එක වදනකින් හෝ තරහ පිටකරන්නට සිතා මා හිස එසෙව්වේත් ඔහු සමාව අයැදුවේත් එකටමය. මා තිගැස්සී ගිය තරම්... මේ ඒ ඇස් දෙකමය. ඒ මුහුණමය. ඒ හඬමය. මට මගේම නෙතු අදහාගන්නට බැරි තරම් විය. මොරසූරන වැස්සේ පාරක් අයිනේ කඩපිලකට වී හිඳගෙන මා හීන බලනවාද... මම ඇසිපිය නොහෙලා බලා උන්නෙමි. ඔහු නළල රැළි ගන්වාගෙන දෙනෙත් පුංචි කරගෙන මදෙස බැලීය. අනේ ඔහු මා ගැන දැන උන්නා නම්.. මේ අහඹු හමුවීම කොයිතරම් සුන්දර වන්නට තිබුණාද...

"අපරාදෙ ඇඳුම.. හදිසියට දුවගෙන ආවා වැස්සෙන් බේරෙන්න. මෙතන මඩවලක් තියෙනවා කියල දැක්කෙ නෑ. සොරි හොඳේ..."

ඔහු දොඩමළුය. ඒ හඬ ගීතයක් වාගේය. මම අසා උන්නෙමි.

"ඔය මඩපාරවල් හේදුවහම යයි නේද මල්ලි...?

මේ මඩපැල්ලම් යන්නට ඇඳුම නොසෝදා ඉන්නට මා තීරණය කර හමාරය. දැන් ඉතිං මේ ඇඳුම මට සුන්දර සිහිවටනයකි. ඔහු ලේන්සුවක් ගෙන හිස පිසදමනා අයුරු මම හොරැහින් බලා උන්නෙමි.

"තරහටද කතා නොකර ඉන්නේ...?"

මේවනතුරුම එකම වදනක්වත් මා නොදෙඩු බව මට සිහිවූයේ දැන්ය. අසන්නට තව බොහෝ දේ තිබේ. කියන්නට තව ඊටත් වැඩ දේ තිබේ. ඒත් පටන්ගන්නේ කොතනින්ද..?

මා ඔහු මුලින්ම දුටු තැනින්ද..? සියල්ල ඇරඹුණු ඒ සුන්දර දවසින්ද...? 
මා එදා සිතුම්ගේ උපන්දින සාදයට සහභාගී වූයේ නොගිහින්ම බැරි නිසාය. සාද ආදිය පිළිබඳ මාගේ කැමැත්ත ඉතා අල්පය. නමුදු සිතුම්ගේ උපන්දින සාදයේ මා සිතුවාට වඩා අපූරු වෙනසක් තිබුණි. ඝෝෂාකාරී සංගීතය වෙනුවට සාදය පුරා ගලා ගියේ සිහින් සංගීත රාවයකි. ඒ නිසංසල බව ගීතවත් වූයේ ඔහුගේ හඩිනි. සමුද්‍ර තේනුවර ගේ ගී හඩිනි. මට ඔහුගේ ගී හඬ ඇසුනේ සිහින ලොවකින් පාවී ආ හඬක් සේය. මම දුරකට වී හිඳ ඔහුගේ නෙතු දෙස ඔහුට නොපෙනෙන්නට බලා උන්නෙමි. කවදාවත් නොවූ ලෙසට හදවත හැඟුමින් බර විය. පිරිමියෙක් දිහා ඒ තරම් විමසිල්ලෙන් ඒ තරම් උනන්දුවෙන් බැලූ ප්‍රථම අවස්ථාව එය විය. මට මාවම අහිමි වෙමින් තිබුණි. ඒ දැනුනේ ප්‍රේමය විය නොහැකිද..?

"ලෝචන... උඹ බය වෙලාද..?"


 සිතුම් පැමිණ මගේ දැහැන බිඳ දැමුවේය.


"කවුද සිතූ අර ගායකයා..?"

"ඌ අපේ අයියගෙ යාලුවෙක්.."


"හරි ලස්සනට සිංග් කරනවා.."

"මොකද... හිත ගියාද...? හැබැයි වැඩක් නෑ. ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවලු..."

ඇතුළතින් දැවී යද්දී මම මහ හඬින් හිනැහුනෙමි.

"මම කිව්වෙ ලස්සනට සිංදු කියනවා කියල විතරනෙ බං.. කෙල්ලො එකෙක් නෙමෙයි කීයක් හිටියත් මට මොකද..?"



සිතට නැගුණු දහසක් සිතුවිලි සඟවාගෙන මම මගේ මිතුරා ඉදිරියේ රඟපෑවෙමි. මෙතෙක් මගේ ජිවිතයේ කිසිඳු රහසක් සිතුම්ට රහසක් නොවීය. නමුදු සමුද්‍ර කෙරෙහි මගේ සිතෙහි ඇති වූ හැඟීම වෙනත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට ලෝභකමක් මා නොදැනුවත්වම ඇති වී තිබුණි.හා හා පුරා කියා කුළුඳුලේම පෙම් සිතුවිලි පහළ වූයේ අන්සතු පිරිමියෙකු ගැන නොවේද..? ඔහු නොනවත්වාම ගයයි. මා බෙහෙවින් ප්‍රියකළ ගීත ඔහුගේ හඬින් ඇසෙද්දී තවදුරටත් එතැන රැඳී සිටීමට නොහැකි තරමට ම'සිත දුර්වල විය. ලොකු බොරුවක් කියා සිතුම්ගෙන් අවසර ගෙන ඉතා ඉක්මනින් එතැනින් පිටව ගියෙමි. ඈතට යනතුරුම මට සමුද්‍රගේ ගී හඬ ඇසුනි.

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ 

සවන් පිරූ සත්සර මැද්දේ

ඔහුගේ ගී හඬ මට ඇසුනේ

මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ 
එදා සිට මගේ සිත මට අකීකරු වෙමින් සමුද්‍ර ගැනම සිහිකරන්නට විය. හදවතේ පතුලටම වැදී නිදන්ගත වුණු ඔහුගේ හඬත්, ඇස් දෙකත් මේ මොහොත වනතුරුම මට දුන් වදය නම් නිමක් නැත. නිදි නැති රාත්‍රීන් කීයක් නම් පසුගිය සිව්වසර පුරාවට ගෙවෙන්නට ඇතිද..?මාගේ මිතුරන් සියල්ලටම පාහේ පෙම්වතුන් හෝ පෙම්වතියන් සිටි නිසා මටත් ආදරයක් සොයා දීමට ඔවුන් නොගත් උත්සාහයක් නැත. මා පිළිබඳ ඇති තතු දන්නා මිතුරන් මට පෙම්වතුන් සොයනා අතර එසේ නොදත්තවුන් මට පෙම්වතියන් සෙවීය. සිතුම් නිතරම වාගේ ඒ ගැනම දෙඩුවේය. මා සමඟින් හාදවෙන්නට ආ ගැහැණු ළමුන් හෝ පිරිමි ළමුන් කිසිවෙකු ගැන මට කිසිඳු හැඟීමක් ඇති නොවුණි. හදවතේ අස්සක් මුල්ලක් නෑරම සමුද්‍රගේ සිතුවිලි විසිරී ගොස් තිබූ නිසා වෙන සිතුවිල්ලකට පුංචි ඉඩක්වත් නොවුණි. දකින දකින කෙනා පිළිබඳ ප්‍රේමනීය සිතුවිලි පහළ නොවේ. එය සංසාර පුරුද්දකට සිදුවන්නකි.


"ලෝචන... ඇත්තටම ඇයි බං කාටවත් කැමතිවෙන්නැත්තේ..? අර විරාජ් පට්ට කොල්ලෙක්නෙ බං.. පව් ඌ දැන් කොච්චර කාලයක් උඹේ පස්සෙන් ආවද..? වෙන එකෙක් නම් මෙලහකටත් දමල ගහල ගිහිං. උඹගෙ ආඩම්බර බල බලා ඉන්නෙ නෑ.."
"සිතූ.. මං අකමැති නම් ඇයි බං බලකරන්නේ...? යාළුවෙන්නේ සුමානෙකට දෙකකට නෙමෙයිනේ.. ජීවිතකාලෙටම... ඒ නිසා ඒක සිද්ධවෙන්නෙ මං කැමති මට ඕන කෙනෙක් එක්ක විතරයි.."

"ඇත්ත කියපං... උඹේ හිතේ කා ගැන හරි තියෙනවද..? නැත්නම් අර හින්දි ෆිල්ම් වල වගේ හීනෙන් ඇවිත් කතා කරපු හරියට මූණ බලාගන්න බැරිවුණු සිහින කුමාරයෙක්වත් ඉන්නවද..?"
"අපි හැමෝගෙම හිත්වල සිහින කුමාරයෙක් ඉන්නව සිතුවෝ.. උඹේ හීන කුමාරයා තමයි උඹට දැන් හම්බවෙලා ඉන්නේ.."
"උඹට නම් පිස්සු ලෝචියෝ..."

හොඳම මිතුරා සිතුම් වුවත් ඔහු සමඟින්වත් සමුද්‍ර ගැන කියන්නට මගේ සිත ඉඩදුන්නේ නැත. පුදසුනක තැබූ මලක් සේ පූජනීයව මම වසර හතරක් පුරාවට ඔහු ගැන වූ මගේ ප්‍රේමය හිත පතුලේම සඟවා ගත්තෙමි. තනිව විදෙව්වා මිස කාටත් කියා කැළැල් කරගන්නට සිත් දුන්නේ නැත.අතීත මතකය තුළ මා තව තවත් සිරකරමින් වැස්ස වහී. සමුද්‍ර ඒ වැස්ස දිහා බලාගෙන උන්නේය. මම ඔහු දෙස නෙත් පුරා බැලීමි. කිසිඳු වෙනසක් නැත. ඔහු එදා මා දුටුවා වාගේමය.මම සිහි කළෙමි. උපන්දින සාදයෙන් සතියකට පමණ පසු සිතුම් මා වෙත රැගෙන ආ ආරංචිය මට සිහි වේ.


"ලෝචන උඹට මතකද එදා අර අපේ ගෙදර සිංදු කියපු සමුද්‍ර..? අර උඹ කිව්වෙ ලස්සනට සිංග් කරනවා කියලා.. ඌ පෙරේදා ඉන්දියා ගියා. මියුසික් ඉගෙනගන්න ගියේ. මිනිහට දැන් වුණත් චාන්ස් තියෙනවලු ගායකයෙක් වෙන්න. අපේ අයිය කියනවා සමුද්‍ර කැමති හොඳට ඉගෙනගෙන ඇවිල්ලම ඒක කරන්නලු. ඌත් උඹ වගේම පණ්ඩිතයෙක්ද කොහේදෝ..."
සමුද්‍ර බොහෝ දුරකට ගිය බව දැනගත් එදා පුදුම තරමේ දුකක් සිතට දැනුනත් ඔහුගේ යහපතට ගිය ගමනක් නිසා මම සතුටු වූයෙමි.සිතුම් ඉඳහිට සමුද්‍ර ගැන මොනවා හෝ මා සමඟ දෙඩුවේය. සිතුම් කොයි මොහොතේ සමුද්‍ර ගැන කියාවිදෝයි බලා ඉන්නා මම ඔහු ගැන කියද්දී ඒවාට සවන්දුන්නේ නොසැලකිල්ලෙන් මෙනි. කාලයක් සමුද්‍ර ගැන කිසිඳු තොරතුරක් නොමැතිව මම බලා උන්නෙමි.
හදිසියේම දවසක සිතුම් ම'වෙතට රැගෙන ආවේ දුක්බර පුවතකි. ඇත්තටම එය මට නම් දුක්බර පුවතක් නොවුණි.

"අඩෝ මාර වැඩේ ලෝචියෝ වෙලා තියෙන්නෙ.. රෝෂිනි, සමුද්‍රගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන එකෙක්ව මැරි කරන්න යනවලු. පෝසත් කොල්ලෙක්ලු. අපේ අයිය නම් කියනවා එහෙම වුණු එක හොඳයි කියලා. රෝෂිනි කොහොමටත් සමුද්‍රයට ගැලපෙන්නෙ නෑලු.."

සිදු වූ දෙය පිළිබඳ සතුටක් වාගේ දෙයක් හිතට නොදැනුනාම නොවේ. ඒත් සමුද්‍ර දුකින් නම් මට මොන සතුටක්ද..?


"එයා දන්නවද ඔය ගැන..?"


"කවුද සමුද්‍ර ද..? ඔව් දන්නවලු.. රෝෂිනිම කෝල් කරපු වෙලාවක කිව්වලු. ඉක්මනට මැරි කරන්න කියලා ගෙදරින් බල කරනවා කිව්වලු. එනකල් බලන් ඉන්න විදියක් නෑ කිව්වලු. පුදුම කෙල්ලෝ තමයි ලෝචියෝ... වෙලාවට අපි ඒ පැත්තට නැත්තේ..."

"දැන් එයා අප්සට් ගිහිං ඇති නේද..?"

"පේන විදියට නම් සමුද්‍රය හිත හදාගෙන වගේ.. අපේ අයියට ස්කයිප් ආපු වෙලාවක ඔක්කොම විස්තර කියල තියෙනවා.."

මට සැනසීමක් දැනුණි. ඔහු හිත හදාගත්තා නම් කොයිතරම් හොඳද..?

රෝෂිනිගේ වෙන්වීම මා තව තවත් සමුද්‍රගේ සිතුවිලි ලෝකයට ලංකළ සිද්ධියක් විය. මා ඔහු ගැන අලුතින්ම සිතන්නට පටන්ගත්තේ එතැන් සිටය. මම මගේම කියා නොව අපේම කියා ලෝකයක් මවා ගත්තෙමි. ඒ ලෝකයේ අපි ප්‍රේමයෙන් බැඳී උන්නෙමු. සමුද්‍ර ඉන්දියාවට ගියේය. මම ඔහු එනතුරා බලා ඉන්නා ඔහුගේ පෙම්වතා වීමි. දිනපොත්වල පිටු පුරා ආදරය කුරුටු ගෑවෙමි. පැමිණිවිට ඔහුට පෙන්වන්නට කවි ලීවෙමි. පන්සල් ගානේ ගොස් දුර ඉන්නා ඔහුට කරදරයක් නොවෙන්නැයි පතා බෝධි පූජා පැවත්වීමි. මම කාටත් හොරා පෙම්වතෙක් වී උන්නෙමි. ඉතිං දැන් ඔහු ඇවිත් ඇත. වැස්සේ තෙමීගෙන අහඹුවක් සේ මා ළඟටම ඇවිත් ඇත...

"ලෝචන... මොනවද ඔය තරම් කල්පනා කරන්නේ...?"

දෙසවන් ළඟම අකුණක් පුපුරා ගිය සේ මම තිගැස්සුනෙමි. ඔහු මගේ නම කියා කතා කරයි. මෙය හැබෑවක්ද..? නැත්නම් මා විසින් මවාගෙන උන් හීන ලෝකයේම කොටසක්ද..? මා සිතා උන්නේ, දැන උන්නේ සමුද්‍ර මා ගැන කිසිවක් නොදන්නවායි කියාය. එදා උපන්දින සාදයේදී මා උන්නේ ඔහුට පෙනෙන ඉසව්වක නොවේ. ඔහු කවදා හෝ මා ගැන විමසූ බවක්වත් සිතුම් මා සමඟින් පවසා තිබුණේ නැත. ඉතිං මේ සිදුවන්නේ මොනවාද..?


"ඔයා හොඳටම බය වෙලා.. මොකද මේ..?"


ඔහුගේ සිනා වත දැන් නම් මට ප්‍රහේලිකාවකි. මම ආයාසයෙන් එකතුකරගත් වදන් දෙකක් මුව තුළින් පිට කළෙමි.


"කොහොමද දන්නෙ..?"

"මොනවද..?"

"මගේ නම.."

"මට දිවැස් තියෙනවනේ..."


ඔහු හරිම සැහැල්ලුවෙන් හිනැහෙයි.මට හිනැහෙන්නට නොහැකිය. යකාගෙ කම්මල වාගේම'සිත අවුල් වී ඇත. මා විහිළුවකට ගෙන ඔහු හිනැහෙනවායැයි සිතුනෙන් මම ඉවත බලාගත්තෙමි.

"තරහා ගියාද මල්ලි...? ඔහොම ඉද්දි ආදරේ හිතෙනවා..."


මේ නම් හීනයක්මය. එක එල්ලේ ඔහු දෙස බලන්නට නොහැකි බවක් දැනුණෙන් මම යටැසින් ඔහු දෙස බැලීමි.


"මාව ලොකු ප්‍රශ්නයක් වුණා නේද..? මම ඔක්කොම කියන්නම්. අහගෙන ඉන්නවද..? වැස්ස දැන්ම පායන එකක් නෑ.. ඉන්න පුළුවන්ද..?"

මොහොතක් දෙකක් නොව කල්ප කාලාන්තරයක් වුවද මෙතැනම මෙහෙමම ඉන්නට වුවත් මට හැකිය. මම හිසවනා ඉන්නට පුළුවන් බව හැඟවීමි. සමුද්‍ර දිග කතාවකට මුල පිරීය. වැස්සට කඩපිලට ගොඩ වූ අනෙක් අයත් නොයෙක් කතාවල පැටලී හිඳී. කාටවත් යන්නට හදිස්සියක් නැතුවා සේය. හදිසි තිබුණත් මඟට බසින්නට නොහැකිය. වැස්ස ඒ තරම් තදින් ඇදවැටේ.

"සිතුම්ගෙ පා(ර්)ටි එක දවසෙ මම ඔයාව දැක්කා. හැමෝම අතරෙ ඔයාගෙ මොකද්දෝ වෙනසක් තිබුණා. විශේෂයක් තිබුණා. ඔයා ඇඳල හිටියෙ සුදුපාට කුර්තා එකක්.."

වැස්ස වැටෙන හඬ අතරින් සමුද්‍රගේ හඬ මිහිරිව ඇසේ.

"අනිත් අය කතාකරන්න එද්දි ඔයා වුවමනාවෙන්ම මාව මඟඇරියා වගේ මං දැක්කා.."

ඇත්තටම එදා ඔහු හා දොඩන්නට තරම් දිරියක් මට මට නොවුණි. ඔහු මිහිරිව ගී ගැයූ නිසාදෝ හැමෝම වාගේ ඔහු සමඟ දෙඩුවා මට මතකය.

"ඔයා ඉක්මනට ගියා. ඔයා ගියාට පස්සෙ මට ඇහුනා සිතුම් කියනවා ලෝචන සමුද්‍රගේ සිංදු වලට පිස්සු වැටිල හිටියෙ කියලා. ඔයා ගියාම මට පුදුම පාළුවක් දැණුනා. ඔයා ගිහින් තිබුණේ මගේ හිතත් අරගෙන. රෝෂිනි ගේ පිස්සු වැඩ නිසා හෙම්බත් වෙලා උන්නු මට ඔයාව දකපුවම මොකද්දෝ වෙනසක් දැණුනා.."

සමුද්‍ර වැස්ස දිහාත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලමින් ඉවසිල්ලේ කියාගෙන යයි. මම සුරංගනා කතාවක් අසා ඉන්නා පුංචි දරුවෙකු සේ නොඉවසිල්ලේ උන්නෙමි.

"මට ඉන්දියා යන්න තිබුණේ හරියටම සුමානයයි. සිතුම්ගෙන් විස්තර අහගෙන ඔයාව හොයාගෙන එන්න පුළුවන්කම තිබුණා. ඒත් අපි අතරේ මොකක් හරි සම්බන්ධයක් ඇතිවුණා නම් මගේ ගමන ලේසි වෙන්නෑ. ඔයාගෙ පුංචි හිතටත් ඒක වදයක් වෙන්න තිබුණා. එහෙම නේද..?"

ඔහු අනන්ත ආදරේකින් ම'දෙස බැලුවේය. මගේ හදවත ගැහෙනා හඬ ඔහුටත් ඇසුනාදැයි මම නොදනිමි.

"මං අන්තිමට තීරණයක් ගත්තා.. මං හිතාගත්තා ලෝචන කියන පුංචි කොල්ලගෙ හිතේ මං ගැන මොකක් හරි හැඟීමක් ඇති වුණා නම් ඒ ඇති කියලා. මං විශ්වාස කළා මට අයිතියි නම් මං ආපහු එනකල් කාගෙවත් නොවී ඉඳීවි කියලා. අනික මං දැනන් හිටියා මං ගිය ගමන් රෝෂිනි වෙනස් වෙනව කියලත්.."

මහා බරක් උරෙන් සැහැල්ලු කරගත්තා සේ ඔහු සුසුමක් හෙළුවේය. ඒ සුසුම මගේ නළලත වදින තරමට ඔහු මට ලංවී සිටියේය. මා කෙරෙහි ඔහු තබා ගිය විශ්වාසය මට රකින්නට හැකි වූ බව සතුටින් කියන්නට මට සිතුණි.

"මම ඇවිත් තවම දවස් දෙකයි. මම ඉස්සෙල්ලම කළේ සිතුම්ව මීට් වෙලා ඔයාගෙ තොරතුරු දැනගත්ත එක. මං දැනගත්තා ඔයා තවම තනියම කියලා.ඒක දැනගන්නකල් මට ඉවසුමක් තිබුණේ නෑ මල්ලි.. සිතුම්ට මම කිව්වා ඔයාට මොනවත් කියන්න එපා කියලා. මට ඕනෙ වුණා මේකට කවුරුත් මැදිහත් කරගන්නැතුව... ඔයාව පුදුම කරවන්න..."

සමුද්‍රගේ දිගු දෑඟිලි අතර මගේ දෑත සිරවූයේ කොයිමොහොතේදැයි කියා මට නිනව් නැත. ඒ දෑත මුදාගන්නට මට වුවමනාවක් නොවුණි.

"සී.අයි.ඩි. එකෙන් වගේ මං ඔයාව ෆලෝ කළා.. ඔයා දන්නෙත් නෑ.."

බොහෝ වෙලාවකට පසු ඔහුගේ සැහැල්ලු සිනා හඬ ආයෙමත් ඇසුණි.

"ආදරෙයි ලෝචන ගොඩාක්..... සිතුම් මට කිව්වා ඔයා කා ගැනදෝ හිතේ තියාගෙන නොකියා ඉන්නව කියලා. මං දන්නව ඒ මම කියලා. මං දැක්කනේ, දැන් ටිකකට කලින් මාව දැකපු ගමන් ඔයා කොයිතරම් ගැස්සිලා ගියාද කියලා.. ඔයා මං ගැන බලාගෙන හිටපු එකට ඔයාගෙ ඔය ඇස් දෙක සාක්කියි. ඔයාගෙ ඇස් දෙකේ හැමදේම ලියවිලා තියෙනවා. කියන්න ලෝචන... මං හරි නේද..?"

මගේ දෑසින් කඳුළු වැටේ. මේ සතුටු කඳුළුයි. සතුට දරාගන්නට බැරි වූ හැම මොහොතකම මට හැඬේ. මට දැනුත් හඬන්නට සිතේ. සමුද්‍රගේ පපුතුරෙහි මුහුණ හොවාගෙන මෙතුවක් කල් වින්ද දුක කියා හඬන්නට සිතේ. මගේ මුවින් වදන් පිටවුණේ බොහෝ සෙමිනි.

"බලාගෙන හිටියා තමයි. ඒත්..... මං හිතුවෙ නෑ කවදාවත් මේක ඇත්තටම වෙයි කියලා. මට තාම මේක හීනයක් වගේ.."

"නෑ... මේක හීනයක් නෙවෙයි ලෝචන. මං ඔයාව හොයාගෙන ආවා."

වැස්ස පායා තිබේ. කුඩයක් ඉහළාගෙන මඟට බසින්නට හැකි තරමට පායා තිබේ.

"අපි දැන් යමුද..? කියන්න දේවල් ගොඩක් තියෙනවා.. කොහෙට හරි ගිහින් කෝපි එකක් බිබී කතා කරමු. ඔයා යන්න ආපු ගමන අදට මං වෙනුවෙන් කැන්සල් කරනවද..?"

සමුද්‍ර මගේ අතකින් අල්ලා ගත්තේය. යන්නට ආ ගමන ගැන දැන් මට මතකයක්වත් නැත. සංසාරය පුරාම සැරිසරා මා සෙවූ ආදරය හමු වී තිබේ. අන් කිසිවක් ගැන මට කම් නැත. පෙරුම් පුරා බලා උන් මොහොත උදා වී ඇත.

"තවම වහිනවනේ..."

"අපෝ හයියෙන් වහින්නෑ.. ඔය කුඩේ ඇතිනෙ අපි දෙන්නටම.."

සමුද්‍රට තුරුළු වී එක කුඩයක් යටින් කී වරක් නම් සිතින් මා යන්නට ඇතිද..? මගේ මුවඟට සිනාවක් නැගුණි.

"තනියම හිනාවෙනවා.. මොනවද මතක් වුණේ..?"

"තනියම හීන මවපු හැටි මතක් වුණා.."

අපි දෙදෙනාම එක්ව සිනාසුනෙමු. ආත්ම ගණනක් පෙරුම්පුරා ඇවිදින්, තවත් ආත්ම ගණනක් යන්නට ඇති ගමනකට පළමු පියවර තැබුවෙමු. අපට ආශිර්වාද කරන්නට වාගේ හිරිපොද වැස්ස මල් වරුසාවක් සේ ඇද වැටුණි.

-නිමි-

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment