Mountain View

තල්වැට අද්දර





මම හර්‍ෂණ හපුආරච්චි.... වෘත්තියෙන් මම නවක​ වෛද්‍ය​වරයෙක්.... එදා නන්දිකඩාල් කලපුවේ අවසන් යුද්ධය නිමාවුන දවස්වල මම IDP campsවල ස්වේච්ඡා සේවයට ගියේ ඒ අසරණ මිනිසුන්ට උදවු කරන්න තිබුණු කැමැත්ත නිසාමයි.

කදවුරේ මිනිස්සුන්ට සහය දෙමින් හිටපු මනෝවෛද්‍ය​ විශේෂඥ විජේවර්ධන මහතා සමග මම මගේ වැඩ ආරම්භ කලේ ලොකු ආසාවකින්.

"හර්‍ෂණ​... මේක එච්චර පහසු දෙයක් නෙවෙයි..." Dr.විජේවර්ධන කිව්වේ හිනාවකුත් එක්කමයි.

"උත්සහ කරලා බලමු සර්..."

"මේ මිනිස්සු... දශක 3ක් යුද්ධේ අස්සෙම ජීවත්වුණ අයයි... එයාලාගේ මානසිකත්වය ඔයාට හිතාගන්නත් අමාරු වෙයි"

"මම උත්සහ ගන්නම් උපරිමයෙන්ම සර්..."

"හරි.... හැබැයි... කොල්ලා පස්සේ මේවා අහලා වෙලා මගෙන් councelling ගන්න එයිද දන්නෙ නැහැ..." සර් එක කිව්වේ විහිලුවට කියලා මට සර්ගේ මූන දැක්කම තේරුනා...

*****

කදවුර පුරාවටම සෙනග පිරිලා ඉතිරිලා ගිහින්. මට මේ වෙද්දී භාර වෙලා තිබ්බේ මානසික වශයෙන් කදවුරේ ඉන්න අයට සහය වෙන්නයි.  දවස් කීපයක් මට ඒ අයට ලොකු සේවයක් දෙන්න පුලුවන් වුණා කිව්වොත් වැරදි නැහැ...

දෛවය අකාරුනික විදිහට නපුරු වුණූ ඒ වගේ අවාසනාවන්ත මිනිස්සු අතරේ ඒ වගේ චරිත ඕනතරම් ඇති. මිනිස් ජීවිතයකට වටිනාකමක් නැති වුණු... දෛවය තිරිසන් විදිහට සරදම් කරපු... ආදරය​... සෙනෙහසට වෙඩි පිට වෙඩි වැදුනු ඒ දවස් කීපයේ මිහිපිට සිදුවෙතැයි ඇදහිය නොහැකි ගොඩක් දේවල් සිද්ධ වුණා...

සෙල්වම්.... ඒ ජීවත්වෙන ජීවිතේටත් ශාප කරන අවාසනාවන්ත මතකයක උරුමකරුවා.... එදා මට මුන ගැහුනේ ඒ විදිහටයි....

මේ සිද්ධිය වුණු දවස මට තාමත් අද වගේ මතකයි....

මම මගේ වැඩ අවසන් කරලා මගේ කාමරේට එන ගමනුයි හිටියේ. මගේ ආරක්‍ෂාවට හිටපු හමුදා සෙබලා මම ඉන්න පැත්තට ආවා. එයාගේ නම දසුන්.

"හර්ෂණ සර්…"

"ඇයි දසුන්..."

" dr.විජේවර්ධන, සර්ට එන්න කියලා පණිවිඩයක් එවලා"

"හරි... මම ගිහින් බලන්නම්..."

මමත්  Dr.විජේවර්ධනත් අතර මේ වගේ සාකච්චා නිතරම සිදුවුණා. ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. මම හෙමින් Dr.විජේවර්ධනගේ කාමරය පැත්තට ඇවිදගෙන ගියා. වෙහෙසකාරී දවසක නිමාවත් එක්ක කදවුර රාත්‍රි අදුරෙන් වෙලිළා ගිහින් තිබුණු වෙලාවක්.

මම යද්දිත් සර්ගේ කාමරේ එලියක් මම දැක්කා... ඒ කියන්නේ සර් තාම නිදි නැහැ. මම දොර ලගටම යද්දි සර් ඇවිත් දොර ඇරලා මාව ඇතුලට ගත්තා.

"හර්‍ෂණ එන්න​... ටිකක් වාඩි වෙන්න​..."

සර්ගේ මූණේ තිබ්බේ ටිකක් වෙනස් පෙනුමක් කිව්වොත් වැරදි නැහැ. මගේ හිතෙත් කුතුහලයක් ආවේ ඉබේම වගෙයි.

"සර්..."

"හර්‍ෂණ​...”

සර් කල්පනාත්මක මූනකින් මගේ දිහා බැලුවා.

“ මට මහා අමුතු පොඩි එකෙක් හම්බුනා... ඌ මොකුත්ම කියන්නේ නැහැ... ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා... මම හිතන් හිටියේ හෙට මිනිහාව ටිකක් study කරලා බලන්නයි... ඒත් මට පොඩි වැඩක් නිසා හෙට දවසේ හවස් වෙනකම්ම මෙහෙන් පිටට යන්න වෙනවා...."

"ඉතින් සර්... මොකක්ද මගෙන් කෙරෙන්න ඕන​?"

"මට සැකයි මිනිහා suicidal thoughts තියෙන පොරක්ද කියලා.... මට මිනිහාගේ පෙනුම එච්චර ඇල්ලුවේ නැහැ... looks like depression. ඉතින් හර්‍ෂණ හෙට උදෙන්ම එතැනට ගිහින් පොඩ්ඩක් ඒ කොල්ලව බලනවද​?"

"හරි සර්... මම ඒක කරන්නම්..."

"කොල්ලට වයස 15ක් විතර ඇති... නම සෙල්වම්..."සර් මට කොල්ල ගැන විස්තර ටිකක් දුන්නා.

"හරි සර්..." මම file කවරය අතට ගත්තේ එක හෙමින් පෙරලලා බලන අතරෙමයි.

*****

මම මුලින්ම සෙල්වම්ව දැකපු හැටි මාව පුදුමයට පත් කලා. කදවුරේ එක විශේෂ කොටසක සෙල්වම්ව රදවාගන්න සේවකයින් වගබලාගෙන තිබුණා... ඒ කාමරේ එක කෙලවරක ඔහේ වාඩිවෙලා, කවුලුවෙන් එහා පේන හෙලවෙන ගහක් දිහා සෙල්වම් නිසසලවම බලන් හිටියා.

depression එහෙම නැත්තම් විශාදය රෝග ලක්ශණ මට බලපු ගමන්ම පෙනුනා.

මම කාමරයට ආවා කියලාවත් සෙල්වම්ට තේරුනේ නැහැ.

"සර්.... මුව නිකම් තියන්නම බැරි වුනා.... කදවුරේ හැමතැනම ඔහේ පිස්සෙක් වගේ ඇවිදින්න ගත්තා... සමහර වෙලාවට කාගෙදෝ නම කිය කිය එක එක්කෙනාගේ මූනු හරව හරවා බලනවාලු..." මම ඇතුලට එද්දිම එතන හිතපු සේවකයෙක් මට රහසින් වගේ කිව්වා.

සෙල්වම්.... තාම පොඩි කොල්ලෙක්... වයස 15ක් විතර ඇති. තරමක් තදපාට හමක් තිබ්බට ප්‍රසන්න පෙනුමක් එයාට තිබ්බා. ඇග තනිකරම ඇදිලා ගිහින් වගේ. ඒ ගතවුණු අවසාන කාලය නිසා වෙන්නැති. කොන්ඩේ අපිලිවෙළ වෙලා... ඇදුම් පවා අපිරිසිදුයි... එවා ඇටසැකිල්ලක් වුණු ඇගේ ඔහේ එල්ලිලා ගිහින් තිබුණේ මහා වේදනාකාරී පෙනුමක් සෙල්වම්ට එකතුකරමිනුයි.


"සෙලවම්...." මම සෙල්වම් ලගට ගිහින් කතා කරත් එයා හෙලවුනේවත් නැහැ.

"සෙල්වම්.... මගේ දිහා බලන්න​..." ඒත් එයා එහෙම්මමයි.

මම හෙමින් මගේ අත එයාගේ උරහිසට තිබ්බා. ඒත් එක්කම උන දේ මට අදහාගන්න වෙලාවක් ලැබෙද්දී මම හිටියේ පැත්තක පොළව බදාගෙනයි. මේ වැහැරිලා ගිය කොලුගැටයා මෙච්චර ශක්තිමත් කියලා මම කොහෙත්ම හිතුවේ නැහැ.

ඒත් එක්කම මගෙ ආරක්‍ෂකයා දසුන් ඒ පැත්තට ආවත් මම දසුන්ව වැළැක්කුවා.

"ආහ්..." බියෙන් සලිතවුණූ සෙල්වම් පලමුවතාවට මගේ දිහා කෙලින් බැලුවේ ඒ වෙලාවෙයි.

"මම හිතලා කරේ නැහැ... අනේ....මම හිතලා කරේ නැහැ..." සෙල්වම් හොදටම කලබළ වෙලා.

"මම  දන්නවා... බයවෙන්න එපා..." මම එහෙම කිවුවත් කොල්ල තාම බයෙන් වගෙයි. විටින් විට දසුන් දිහා බලනවා මම දැක්කා.

"බය වෙන්න එපා... අපි ඔයාට කරදරයක් කරන්නේ නැහැ..."

"එහෙනම්... මට එලියට යන්න දෙන්න​..."

"ඒත් ඇයි?"

"අනේ සර්... මට යන්න දෙන්න​..."

"අපි පස්සේ එලියට යමු... මට දැන් කියන්නකෝ ඇයි එලියට යන්නේ කියලා"

"අනේ සර්"

ඒත් සෙල්වම් මොකුත් කිවුවේ නැහැ. මුලු දවසම අසාර්ථක උත්සාහයක් විතරක් වුණා. මම රෑවෙලා කාමරයට ආවේ මේ කොල්ල ගැන මහා ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙනයි.

ඒත් මට නිදාගන්න හම් බුනේ නැහැ. හමුදා නිළධාරියෙක් ඇවිත් මට කතා කළා.

"ඇයි?"

"සර්... ඉක්මනට යමු..."

"ඒ මොකද​?"

"අර සර් අද බලපු කොල්ලා... සියදිවි නසාගන්න ගිහින් යන්තමින් බේරුනේ..."

"මොකක්?"

"අර සර් අද බලපු කොල්ලා... සියදිවි නසාගන්න ගිහින් යන්තමින් බේරුනේ..."

"මොකක්?"

*****

මම එතනට යනකොට සෙල්වම් මගේ දිහා බැලුවේ හොරැහින් වගෙයි. ඒ ඇස් වල තිබ්බෙ තරහක්ද නත්තම් වෙන මොකක් හරිද කියලා කියන්න මම දන්නෙ නැහැ.

"සෙල්වම්.... ඇයි මේ..." මම බොහොම ඉවසීමෙන් ඇහුවා.

"මට එලියට යන්න ඔන සර්..." එයා කිව්වේ පරණ ස්වරයෙන්මයි. ඒක ආයාචනයක් වගෙයි මට දැනුනේ.

"හ්ම්ම්.... එන්න යමු මාත් එක්ක..." මම සෙල්වම්ගේ අතින් අල්ලගෙන එලියට අරන් ගියා.

මගෙත් එක්ක දසුනුත් ආවා.

රැයේ අන්ධකාරය මකන්න වැටිලා තිබ්බේ යන්තමින් වැටුනු සද එලිය විතරයි. දහස් ගාණක් ඉන්න කදවුරේ පවා පුංචි හරි  නිස්කලංක බවක් දැනුනේ මේ වගේ වෙලාවට විතරයි. අපි කදවුරෙන් ටිකක් දුරකට ඇවිදගෙන ගියා.

"සෙල්වම්... අතන ගල උඩින් වාඩිවෙන්න... දැන් ඔයා මට හැමදේම කියන්න ඕන... හැම දේම... අපි ඉන්නෙ ඔයාට උදවු කරන්න... හැම දේම අපිට කියන්න..." මම කිව්වෙ ටිකක් දැඩි ස්වරයකින්.

"ඒත් සර්..." එහෙම කියපු සෙලවම් දසුන් දිහා බැලුවා.

“ඒ දසුන්… එයා ඔයාට කරදරයක් කරන්නේ නැහැ…” මට තේරුනා සෙල්වම් ඉන්නෙ දසුන්ට බයේ කියලා.

“මල්ලි… අපි ඔයාගේ යාලුවෝ… ඔයාට උදව් කරන්නයි අපිට ඕන​… අපිට බයවෙන්න එපා…”දසුන් ගේ ඒ වචන සෙල්වම්ට යම් සැහැල්ලුවක් ගෙනවා වගෙයි.

“මට සමාවෙන්න​… මම අහලා තියෙන්නේ සිංහල හමුදාව යක්කු වගේ ජාතියක් කියලා… මට සමාවෙන්න​…”

“ඒ LTTE එකෙන් ඔයාලව රවට්ටන්න කියපු බොරුවක්… “ දසුන් සෙල්වම්ගේ කරට අතක් දාගෙන හිනාවුණා.

ඇත්තට මේ වෙලාවේ දසුන්ගේ උදව්ව මට ලොකු ශක්තියක් වුණා.

"ඇත්ත කියන්න සෙල්වම්... මම පොරොන්දු වෙනවා මම මට කරන්න පුලුවන් හැමදේම ඔයාට උදවු කරන්න කරනවා කියලා..."

සෙල්වම් අවසානයේ එයාගෙ කතාව අපිට කිව්වා... ඒ මැදියමේ ඈත අහසෙ පායලා තිබ්බ තරු දිහා බලාගෙන එයා එයාගෙ කතාව අපිට කිව්වා....

මේ කතාව ඇරඹෙන්නේ අදින් අවුරුදු ගාණකට කලින්.

සෙල්වම් ජීවත්වුනේ LTTE එකෙ පාලනයේ තිබුණු එක පුංචි ගම්මානයක​...සෙල්වම්ගේ තාත්තා  LTTE එකේ ගොඩක් ලොකු චරිතයක්. ඒත් සිංහල හමුදාවත් එක්ක සටනකින් සෙල්වම්ගේ තාත්තා මැරුණා. ඒ දැනට අවුරුදු කීපයකට කලිනුයි. සෙල්වම්ගේ අයියා මැරෙද්දි අයියාගේ වයස අවුරුදු 17යි. සෙල්වම්ගේ අම්මා කලින් LTTE එකේ කාන්තා බළකායේ හිටියත් පස්සේ තුවාල ලබලා ඒකෙන් අයින් වුනා. සෙල්වම්ගේ පවුල මහවිරු පවුලක් විදිහට  LTTEඑක නම් කලෙ එයාගේ පවුලෙන් LTTE එකට වුණු සේවය නිසයි.

ඒත් මේකේ ඇත්ත කතාව එහෙමම නෙවෙයි. සෙල්වම්ගේ පවුලේ අයව LTTE එකට බදව ගත්තේ බලෙන්මයි. ඒයාගෙ තාත්තා විතරයි කැමැත්තෙන් එකට ගියේ. තාතාගේ මරණෙන් පස්සේ LTTE එක බලෙන්ම අම්මව අරන් ගියා. අම්මා තුවාල වුණාට පස්සේ  අම්මව ගෙනල්ලා දාලා ගියා. ආයෙත් ටික දවසකින් ඇවිත් සෙල්වම්ගේ අයියාව ඇදගෙන ගියේ ගෙදර හැමෝම මහ හඩින් හඩා වැළපෙද්දීයි. ඒත් අයියා මැරුණා කියන පණිවිඩය විතරයි ගෙදරට ආවෙ.
මේ හැම දෙයක්ම අවසානයේ සෙල්වම්ගේ පවුල මහවිරු පවුලක් වුණා.

LTTE එකේ ඒ පැත්තේ නායාකයා ඒ වෙද්දී සෙල්වම්ගේ ආබාධිත වෙල හිටපු අම්මා එක්ක සම්බන්ධයක් ඇතිකර ගත්තා. තමන්ගේ එකම දරුවාව බේරගන්න තියෙන එකම විදිහ ඒක නිසා සෙල්වම්ගේ අම්මත් ඒ තිරිසන් ආසාවන් පිරිමහ ගන්න ඒ මිනිහට ඉඩ දුන්නා.

ඒ පැත්තේ නයකයාගේ හොරගෑණිගේ පුතා නිසා කවුරුත් සෙල්වම්ව පැහැරගන්න ආවේ නැහැ.
*****

සෙල්වම්ගේ හොදම යාලුවා වුනේ සදීස්. ඇත්තටම සෙල්වම් එහෙම කිව්වට සදීස් කියන්නෙ සෙල්වම්ගේ හොදම යාලුවාට වඩා ගොඩක් එහා ගිය චරිතයක්.

සදිස් සෙල්වම්ට වඩා අවුරුද්දක් වැඩිමල්. LTTE එකෙන් සදීස්ව පැහැරගෙන ගිය දවස සෙල්වම්ට තාමත් අද වගේ මතකයි. සෙල්වම්ට සදිස්ගේ ගෙදර පැත්තෙන් ඒ සද්දේ ඇහුනා. ඒත් සෙල්වම්ට මොකුත් කරන්න දෙයක් තිබ්බේ නැහැ. සෙල්වම්ගේ අම්ම සෙල්වම්ව දරමඩුවේ හදලා තිබ්බ වලක දාලා වැහුවා.

*****

සදීස්… සෙල්වම්ගේ ජීවිතේ හිටපු වටිනාම යාලුවා. සෙල්වම් වයස 10-12 විතර ඉදන්ම දැනගෙන හිටියා සදීස් කියන්නේ සෙල්වම්ට යාලුවෙක් විතරක්ම නෙවෙයි කියලා. ඒත් ඒ බැදීම සෙලවම්ට පැහැදිළි කරන්න තේරෙන්නේ නැහැ. මොකද සෙල්වම් එහෙම බැදීමක් කවදාවත් දැකලා තිබේ නැති නිසා.

සදීස්ට සෙල්වම් ඇත්තටම ආදරේ කලා. ඒත් ඒක එයාවත් දැනගෙන හිටියෙ නැහැ. සදීසුත් එහෙමයි. එයත් සෙල්වම්ට ආදරේ කලා. දෙන්න අතරේ පොඩි පොඩි දේවල් වෙලා නැතුවමත් නෙවෙයි. ඒත් දෙන්නගේ බැදීම් දෙන්නගේම හිත් වල රහසේම හැංගිලා තිබ්බා.

සදීස්ව LTTE එකෙන් අරන් ගියාට පස්සෙ සෙල්වම් දවස් ගානක්  හිටියේ පිස්සු වැටිල වගෙයි. අවසානයේ සදීස් අම්මගෙන් ඉල්ලුව අම්මත් එක්ක රෑට රෑට නිදාගන්න LTTE සාමාජිකයාගෙන් මේක අහන්න කියලා.

*****
“ඉතින් සෙල්වම්වත් අපේ හමුදාවට එවන්නකෝ… ඌට යාලුවත් එක්ක ඉන්න පුලුවන්නේ…” LTTEකරයාගේ උත්තරය උනේ ඒකයි.

“අනේ… දෙයියනේ… එහෙමනම් කියන්න එපා… අයියෝ... මට ඉන්නේ මු විතරයි... මූවත් මට නැතිකරන්න එපා​…” අම්මා අඩාවැටුනා.

“බලමු... “ එහෙම කියලා  LTTE සාමාජිකයා ආයෙත් සෙල්වම්ගේ ඉස්සරහම සෙල්වම්ගෙ අම්මගේ ඇග උඩට නැග්ගා.

******

දවස් කීපයකට පස්සේ දවසක ගෙදර ඉස්සරහා jeep එකක් නැවැත්තුවා. ඒකෙන් ආවෙ සෙල්වම්ගේ අම්මා එක්ක නිදාගන්න එන LTTE සාමාජිකයායි.

“සෙල්වම්… නැගපන් jeep එකට”

“අනේ… දෙයියනේ…!!!” සෙල්වම්ගේ අම්මා අඩන්න උනා.


දවස් කීපයකට පස්සේ දවසක ගෙදර ඉස්සරහා jeep එකක් නැවැත්තුවා. ඒකෙන් ආවෙ සෙල්වම්ගේ අම්මා එක්ක නිදාගන්න එන LTTE සාමාජිකයායි.


“සෙල්වම්… නැගපන් jeep එකට”

“අනේ… දෙයියනේ…!!!” සෙල්වම්ගේ අම්මා අඩන්න උනා.

“යකෝ… මම මුව ගෙනියන්න නෙවෙයි ආවේ…  මම ඉක්මනින් මූව අරන් එන්නම්…” LTTE සාමාජිකයා එහෙම කිව්වත් සෙල්වම්ගේ අම්මා හොදටම කළබල වෙලා.

“නැගපන් jeep එකට​”ඒ jeep එකෙ ඇවිත් හිටිය තව LTTE සමාජිකයින් දෙන්නෙකුත් සෙල්වම්ට තුවක්කු බදෙන් තල්ලුවක් දැම්මා. සෙල්වම්ගේ පපුව සීතල වෙලා ගිහින්. ඒත් කරන්න දෙයක් නැහැ. සෙල්වම් වාහනේට නැග්ගා.

සිද්ධ වෙන්න යන කිසිම දෙයක් සෙල්වම්ට තේරුනේ නැහැ. සෙල්වම්ට ඇඩෙන්න තරම්. ඒත් එක්කම කවුදෝ සෙල්වම්ගේ ඇස් බැන්ඳා.

“සද්ද නොකර හිටපන් ගැණියේ… මම මූව අරන් එනවා දැන්ම​…”

එහෙම කියපු LTTE සාමාජිකයා සෙල්වම්වත් දාගෙන වේගයෙන් ඉගිල්ලිලා ගියා.

*****

jeep එක කොච්චර වෙලාවක් එක දිගට ගියාද කියලා සෙල්වම්ට මතක නැහැ. ඒත් එයාල ගොඩක් වෙලා එක දිගට ගිහින් තිබ්බා.

“ඇස් ඇරපන්…” කට හඩක් එක්ක සෙල්වම්ගේ ඇස් බැදලා තිබ්බ පටිය ලෙහෙනවා සෙල්වම්ට මතකයි.

එයාලා හිටියේ කැලයක් මැද​.

“වරෙන් කොල්ලෝ” LTTE සාමාජිකයා සෙල්වම් දිහාවට හැරුනා.

“අනේ ඇයි මාව​….” සෙල්වම්ට ඇඩුණා. ඒත් එක්කම එයාලා කදවුරකට ආවා. ඒත් කෙලින්ම කොටි සමාජිකයෝ එයාව අරන් ගියේ කාමරයකටයි.

“හ්ම්ම්… මම උඹව ගෙනාවේ උඹව බදවගන්න නෙවෙයි…” එහෙම කියපු LTTE සාමාජිකයා සෙල්වම්ව කාමරේ මුල්ලකට ගත්තා.

“උඹ මේක කාටවත්ම කියන්න බැහැ… තේරුනාද​? උඹේ අම්මටවත් කියන්න බැහැ මට උඹේ අම්මගේ ඉල්ලීම අහක දාන්න බැහැ… ඒකයි උඹව එක්කරගෙන ආවේ”

“මොකක්ද​…..මට තේරෙන්නේ නැහැ…” සෙල්වම් තාම ගැහෙනවා.

“වරෙන්…” එහෙම කියපු සාමාජිකයා සෙල්වම්ව දොරකින් ඇතුලට අරගත්තා.

ඒ වෙලාවේ සෙල්වම්ට ඇස් දෙක අදහාගන්න බැරි වුනා. එයා හැමදාමත් හදවතින් ආදරය කරපු සදීස් එයා ඉස්සරහා හිටගෙන හිටියා. එහෙම්මම පැනපු සෙල්වම් සදීස්ව බදාගත්තෙ ඉබේම වගේ.

“උබලා දෙන්නට තියෙන්නේ විනාඩි 20යි… “ එහෙම කියපු LTTE සාමාජිකයා දොර වහගෙන එලියට ගියා. දැන් කාමරේ ඉන්නේ ඒ දෙන්න විතරයි.


“උඹට පිස්සුද සෙල්වම්?” සදීස් පුදුම වෙලා සෙල්වම් දිහා බලන් ඉන්නවා. ඒ ඇස් වල ආදරය උතුරනවා. ඒත් පුදුම වුණු පෙනුමෙත් අඩුවක් නැහැ.


“ඇයි?”

“ඇයි මාව හොයාගෙන ආවේ?”

“මට ඉන්න බැරි වුණා සදීස්… මම දන්නේ නැහැ ඇයි එහෙම උනේ කියලා. ඒත් මට ඉන්නම බැරි වුණා…”

“උඹ නම් පිස්සෙක් සෙල්වා… “

“වෙන්නැති” සෙල්වම් එහෙම කිව්වම සදීස් සෙල්වම්ව බදාගත්තා. සදීස්ට ඒ වෙලාවේ ආපු හැගීම වචනයෙන් කියාගන්න බැහැ. ඒත් ඒ ආදරේ වෙන්නැති කියලා සෙල්වම්ට හිතුනා. සෙල්වම් සදීස්ගේ උණුහුමේ විනාඩි ගාණක් මොකුත්ම නොකියා ඔහේ තුරුලු වෙලා හිටියේ හරියට පූස් පැටියෙක් වගෙයි.

“අපේ අම්මලා හොදින් ඉන්නවද සෙල්වා?”

“එයාලා තාමත් දුකෙන් අඩාගත්තුගමන්මයි… පව්”

“වෙලාවකට හිතෙනවා වෙන දෙයක් වෙන්න කියලා camp එකෙන් පැනලා ආයෙත් ගෙදර යන්න​…. ඒත් එහෙම ගියොත් මුන් මාව විතරක් නෙවෙයි… අපේ පවුලම මරලා දායි…”

“අනේ දෙයියනේ… මොකද මේ වෙන්නේ…” සෙල්වම්ට කියැවුනේ ඉකිගැහෙන හඩින්.

“අඩන්න එපා සෙල්වා” එහෙම කියලා සදීස් සෙල්වාව බදාගත්තේ හරියට අම්මා කෙනෙක් පොඩි එකෙක්ව ආදරෙන් බදාගන්නවා වගේ.

“මට ඔයා නැතුව ඉන්න බැහැ සදීස්…”

“මටත් එහෙමයි සෙල්වා”

“මට ඔයාව දාලා යන්න බැහැ සදීස්…”

“අපි දෙන්නව වෙන් කරන්න කාටවත් බැහැ සෙල්වා… මේ ලෝකේ දෙයියෝ කියලා කෙනෙක් ඉන්නවානම්…” සදීස්ගෙ වචන හැඩුම් බරයි.

දෙන්නගේ ලෝකෙ බිඳිලා ගියේ දොරේ එහා පැත්තෙන් ඇහුණු කටහඩකින්.

“දැන් යන්න වෙලාව හරී…”

“අනේ… සදීස්…”

“සෙල්වම්… දෙයියනේ… ඇයි අපිට මෙහෙම වෙන්නේ…” සදීස් කෙදිරිලි හඩකින් කිව්වේ ඇස් වල කඳුලු පුරවාගෙනයි.

“මට යන්න බැහැ සදීස්…අනේ මට ඔයාව ඕනී සදීස්…"

“දැන් යන්න සෙල්වම්… කවදාහරි, කොහොමහරි ආයෙත් මම ඔයාව හොයාගන්නවා…  මම පොරොන්ඳු වෙන්නම්... ආයෙත් ඔයාවදකින්නෙ නැතුව මම මැරෙන්නේ නැහැ සෙල්වම්…”

හෙමින් සෙල්වම්ගේ දෙතොල් සිපගත්තු සදීස් සෙල්වම්ට සමු දුන්නා.

ඒත් එහෙම යන්න හැරුනු සෙල්වම් ආපහු හැරිලා එයාගේ සාක්කුවේ පරිස්සමට දාගෙන හිටපු photo එකක් අරගෙන සදීස්ට දුන්නා. ඒ මීට මාසගාණකට කලින් සදීසුත් සෙල්වමුත් එකට ඉදලා ගත්තු පින්තූරයක්. සෙල්වම් සදීස් නැතිකාලේ ඒක පරිස්සම් කරගත්තේ එයාගේම පණ වගෙයි.

*****

තල්ගස් ගිණි-රත්තරන් පාට කරන් බැහැලා යන ඉරේ පවා තිබ්බේ මහා මූසල ගතියක්. සෙල්වම්ට එයාගේ ජීවිතේ එයා ආදරේ කරපු සදීස්ගෙන් ඇත්වෙලා යන්න වුනත් එයා ගියේ හිතකින් නෙවෙයි. එදා සෙල්වා ගොඩක් ඇඩුවා. ඒත් එයා සදීස්ව හමුවුණු බවක් එයාගේ අම්මටවත් කිව්වේ නැහැ. සෙල්වම්ව ආපහු ගෙනත් දාපු jeep එක දූවුලි අතරේ නොපෙනී ගියා.

*****

දින සති මාස විදිහට ගත වෙලා ගියේ මහා කාළකණ්ණි විදිහටයි. මේ වෙද්දී සිංහල හමුදාව LTTE එකට දරුණූ විදිහට පහර දෙන්න පටන් අරන් තිබ්බා. LTTEයේ පාලන ප්‍රදේශ හිතන්නටත් බැරි වේගයෙන් සිංහල හමුදාව යටතට පත් වෙමිනුයි තිබුණේ. ගමේ හිටිය තුවක්කුවක් උස්සගන්න පුලුවන් හැම එකෙක්ම කොටි හමුදාව බලෙන් පැහැරගෙන ගියේ ගමේ හැමෝගෙම විලාප මැද්දෙයි. ඉස්සරනම් කවුරු හරි මැරුණාම ඒගැන දන්වනවා. ඒත් මේ වෙද්දී බදවගන්නවාට වඩා වේගයෙන් මැරෙන්න අරන් තිබුණා. ඒ වගේම මරණ ගැන දැනුම්දීමත් නතරවෙලාම ගියා. අම්මාව හම්බවෙන්න ආපු සාමාජිකයාත් දැන් එන එක නතර වෙලා.


“පුතේ… කොයි වෙලාවේ හරි උන් උඹවත් ගෙනියන්න එයි… අනේ දෙයියනේ… මගේ දරුවා” අම්මා නිතරම හඩාවැටෙනවා සෙල්වම්ට මතකයි.


ඇත්ත ​… ඒ වෙද්දී LTTE එක​ කොයි වෙලාවේ සෙල්වම්ව අරගෙන යාවිද කියලා හිතාගන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. මහා අවිනිශ්චිත බවකින් වෙලිලා ගිය ඒ දවස්… ජීවිතයත් මරණයත් දශම ගාණකින් ඇත් වුණු ඒ හැම මොහොතකම එයාලා ජීවත් වුනේ මහා බයකින් දැවි දැවියි.

සදීස් ගැන කිසිම ආරංචියක් ආයෙත් සෙල්වම්ට හම්බවුනේ නැහැ. එයා හැමදාම අම්මටත් හොරෙන් සදීස්ව මතක්වෙලා ඇඩුවා. ඒ ආදරණීය අත්දෙකේ තුරුල්වෙලා එදා එයා සමුගන්න බැරුව අඩපු හැටි එයාට නිතරම මතක් වුණා… ඒ වේදනාව හිතට ආපු හැම වෙලාවකම  එයාට මතක් වුණේ සදීස් අන්තිමට කියපු වචන ටිකයි.

“දැන් යන්න සෙල්වම්… කවදාහරි, කොහොමහරි ආයෙත් මම ඔයාව හොයාගන්නවා…  මම පොරොන්ඳු වෙන්නම්... ආයෙත් ඔයාවදකින්නෙ නැතුව මම මැරෙන්නේ නැහැ සෙල්වම්…”

“පුතේ…”දවසක් අම්මා සෙල්වම්ට කත කළා.

“අම්මේ…. ඇයි බයවෙලා වගේ?”

“සිංහල හමුදාව ලගටම ඇවිත්ලු….”අම්මාගේ මූණේ තිබ්බේ බියක් මුසු වුණු බැල්මක්.

“අපිවත් මරයිද අම්මා?”

ජීවිතේ අවිනිශ්චිත දවස් වේගයෙන් උදාවෙන්න ගත්තේ හිතන්නවත් බැරි විදිහටයි. එක නින්ඳකින් නැගිට්ටේ ආයෙත් නිදාගන්නකම් ජීවත් වේවිද කියන විශ්වාසයවත් නැතුවයි.  හැන්දෑවට බැහැලා යන ඉර ආයෙත් ඊළග දවසේ පායනවා දකින්න ජීවත් වේවි  කියන එක ගැනවත් විශ්වාසයක් කාගෙවත් හිතක තිබ්බෙ නැහැ.

සදීස්ගැන ගොඩක් මහන්සිවෙලා තොරතුරු හෙව්වත් හම්බුනේ නැති නිසා සදීස්ගේ පවුලේ අය හිටියේ හිතේ අමාරුවෙන්. ඒ අය නිතරම සදීස් ගැන මතක් කරලා සෙලවම් එක්ක ඇඩුවා. ඒත් සෙල්වම් සදීස් මුණගැහුනා කියලා කිසිම වෙලාවක එයාලට කිව්වේ නැහැ.

******

සදීස් ගැන සෙල්වම්ගේ තිබුණු මතකය හැරෙන්න සෙල්වම් ලග සදීස්ගේ මොකුත්ම තිබ්බේ නැහැ… ඒත් අවුරුදු ගාණක් පුරාවට එකතුවුණු සදීස්ගේ මතකය සෙල්වම්ට කිසිම වෙලාවක අමතක වුණේ නැහැ. ඒ ආදරණීය මතකය එයාට මහමෙරක් තරම්. තල්ගස් අතරේ සෙල්ලමට දුවපු පැනපු…  ගමේ වැව් ඉවුරේ කෙළිලොලෙන් ගතකරපු ඒ ආදරණීය අතීතය මතකෙට එන හැම මොහොතකම සෙල්වම්ගේ ඇස්වල ඉතුරු කලේ කඳුලු කැට විතරයි.

ඇත්තටම සදීස් කොහේ ඉන්නවාද තියා සදීස් ජීවත් වෙනවාද කියලාවත් සෙල්වම් දැනගෙන හිටියේ නැහැ. ඒත් සෙල්වම් හදවතින්ම සදීස් කියපු ඒ අවසන් වචන​…ඒ අවසන් පොරොන්ඳුව විශ්වාස කලා.

*****
එක දවසක් හැමෝම බයෙන් හිටපු රැයක සාමාජිකයෝ ටිකක් ගමට ආවේ කවුරුත් නොහිතපු වෙලාවකයි.

“හැමෝම හෙට උදේ වෙද්දි ගමෙන් යන්න ලැහැත්ති වෙයල්ලා… හැමඑකාම ගමෙන් යන්න ඕන​… සිංහල හමුදාව ලගටම ඇවිත්… හිටියොත් උබලාටත් මැරෙන්නයි වෙන්නේ…”

සිද්ධ වෙන කිසිම දෙයක් කාටවත් හිතාගන්න බැරි වුණා.

දින සති මාස විදිහට මේ විදිහට සරණාගතවෙලා හිටපු සෙල්වම්ලා අවසානයේ වෙල්ලමුල්ලිවයික්කාල් වලට ලගාවුණා.  මේ යන ගමනේ අතරමග බොහොම අවාසනාවන්ත අනතුරකින් සදීස්ගේ අම්මයි තාත්තයි දෙන්න මරණයටපත් වුණා කියලා සෙල්වම්ට දැනගන්න හම්බුනා. ඒක බොහොම ප්‍රබල බිම්බෝම්බයක්. ඒකෙන් හතරදෙනෙක් මියගිහින් තිබුණා. ඒත් මිනිස් ජීවිතවල වටිනාකම බිංදුවට බැහැපු වෙලාවක ඒක තවත් එක සිදුවීමක්ම විතරයි.

****

වෙඩිහඩ එක දිගට ඇහෙන්න අරන්.  උදයක් දවාලක් නැහැ. හැම නිමේෂයකදිම ඒ බිහිසුණු වෙඩිහඩ  තවතවත් ලගටම ආවේ ජීවිතය ගැන කිසිම විදිහක විශ්වාසයක් ඉතුරු කරන්නේ නැතුවයි. වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් සටන් බිම මහා බිහිසුණු සටනකට සූදානම් වෙමිනුයි තිබුණේ.

කැම බීම නැතුව හැමෝම හිටියේ හාමතේ. එක එක සංවිධාන කැම බීම අරන් ආවත් ඒවා ඔක්කොම LTTE එකේ අය අරගත්තා. කිසිම දෙයක් සාමාන්‍ය මිනිස්සුන්ට දුන්නේ නැහැ.

මරණ බයට යටවුණු මිනිස්සු ඒ පීඩනයට වගේම කුසගින්නෙනුත් තව තවත් දුර්වල වෙලා ගියේ මහ අවාසනාවන්ත විදිහටයි. පුංචි එවුන් හාමතේ මැරෙන්න අරගත්තා. බේතක් හේතක් නැතුව මිනිස්සු ලෙඩ වෙලා මහ දුක්ඛිත විදිහට මැරුණා. පුංචි උණකට හෙඹිරිස්සාවකටවත් මූණ දෙන්න බැරි තරම් හැමෝගෙම ඇග දුර්වල වෙලා ගියා.

“පුතේ… අපි මෙහෙම හිටියොත් තව දවස් දෙක තුනක් යද්දි කොහොමත් හාමතේම මැරෙනවා… අපි කොහොමහරි මෙතනින් පැනගන්න ඕන​… නැත්තම් උන් ඊලගට උබවත් LTTE හමුදාවට අරන් යාවි…”

“ඒත් අම්මේ… අපි යනවා දැක්කොත් මුන් අපිව මරලා දාවි….”

“හිටියත් අපි මැරෙනවා…”

“අපේ ජීවිත අපිට අයිති නැහැ පුතේ…”

මේ වෙද්දි පැනලා යන්න හිතපු එකම අය වුනේ සෙල්වම් විතරක් නෙවෙයි.ගොඩක් අය හොරෙන් සැලසුම් හැදුවා. ඒත් ඊලග දවසේ වුන දේ සෙල්වම්ට හිතාගන්නවත් බැරි වුණා.

පැනලා යන්න හදපු 20ක විතර කණ්ඩායමක් කොටි හමුදාවට අහුවෙලා තිබ්බා. උන් අතරේ වයස 5-10 පොඩි එවුන් පවා හිටියා. හැමෝවම එකට දනගස්සවලා හැමෝගෙම ඉස්සරහා වෙඩි තියලා මරලා දැම්මේ ආයෙත් මෙහෙම කරන්න හදන ඕනම කෙනෙකුට දෙන දඩුවම මේකමයි කියලා කියන්න වගෙයි.

ඒ දර්ශණේ බලන් ඉන්න බැරුව සෙල්වම් එහෙම්මම අහක බලා ගත්තා සෙල්වම්ට මතකයි. සෙල්වම් එහෙම හැරෙද්දි සෙල්වම් දැක්ක මූණ වහගෙන හිටපු එක LTTE සාමාජිකයෙක් සෙල්වම් දිහා බලන් ඉන්නවා.

“දෙයියනේ… මූ මාව දැක්ක කියන්නේ ඊලගට මාවත් කොටි හමුදාවට අරන් යාවි..” සෙල්වම්ට හිතුනා. ඒ ඇත්තතම ඒ දවස් වල සිද්ධ වුණු දෙයක්… නිතරම මේ විදිහට ළමයින්ව පැහැරගැනීම් සිද්ධ වුණා.

මේ දවස් වල සෙල්වම් හැසිරුනේ ආබාදිතයෙක් විදිහටයි. සෙල්වම්ව වෙල්ලමුල්ලිවයික්කල් වලට ආව ට පස්සේ හැමෝටම එහෙම පේන්නයි සෙල්වම් හැසිරුනේ. මේක සෙල්වම්ගේ අම්ම එක්ක ඒකාලේ රෑට රෑට නිදාගත්තු LTTE සාමාජිකයාගේ අදහසක්.

සෙල්වම් ආපස්සට හැරිලා යන්න පටන් ගත්තා. එයා ඇවිද්දෙ කොරවුන කෙනෙක් වගේ. කූඩාරම් අතරින් ඉස්සරහට යද්දි සෙල්වම්ට දැනුනා එයාගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. සෙල්වම් තවත් ඉක්මන් කලා. සෙල්වම් පාලු තනක් පහුකරමිනුයි හිටියේ. අර අඩිහඩ තවත් ලගින් අහෙනවා. සෙල්වම්ගේ පපුව ගැහෙන හඩ පිටටත් ඇහෙන තරම්…

“සෙල්වා… නැවතියන් බන්…”

ඒ හඩත් එක්කම සෙල්වා එහෙම්මම ගල් වෙලා ගියා. ඒ කටහඩ සෙල්වා හොදටම අදුරනවා. ඒ ආදරණීය කටහඩ තරම් ලෙන්ගතු දෙයක් සෙල්වාට කවදාවත් තිබිලා නැති තරම්…

“සදීස්…”

ආපස්සට හැරුනු සෙල්වා වේගයෙන් දුවලා ගිහින් ඒ මුහුන වහගෙන හිටපු කොටි සාමාජිකයාගේ ඇගේ එල්ලුනේ තත්පරයකටත් අඩු කාලයකදීයි.

“සෙල්වා… මම උඹව කොච්චර හෙව්වාද මගෙ රත්තරන්”

 සදීස්ට කියැවුනේ එච්චරයි.

දෙන්න එකිනෙකාව බදාගෙන කොච්චර වෙලාවක් හිටියද කියලා දෙන්නටම හිතාගන්න බැහැ. ඒ හැගීම් පිරිලා ඉතිරිලා ගිය මොහොත එයාලගේ ජීවිතේ මෙච්චර කාලයක් වින්ඳ හැම වේදනාවක්ම අමතක කරන තරම්. ඇස් දෙක පියාගෙන සෙල්වම් ඒ ආදරය විඳ ගත්තෙ පුදුමාකාර ආශාවකින්.
“මම හිතුවෙ නැහැ කවදාවත් ආයෙත් උඹව දකින්න හම් බවෙයි කියලා සෙල්වා..” සදීස් මුහුණු ආවරණය ඉවත්කරන අතරේ කිව්වේ සෙල්වම් දිහා එයාගේ ආදරය උතුරලා යන ඇස් දෙකෙන් බලාගෙනමයි.

“මමත්…”
“මම ඔයාට පොරොන්ඳු වුනානේ කවදාහරි කොහොමහරි මැරෙන්න කලින් ඔයාව හොයාගන්නවා කියල සෙලවා…”

“සදීස්…” එහෙම කියපු සෙල්වම් සදීස්ගේ කට එයාගේ අතින් වැහුවා. සෙල්වම්ගේ ඇස් වල කඳුලු පිරිලා උතුරලා යනවා.

*****

දෙන්නම පැත්තක ගලක් ලග වාඩි වුණා. සදීස්ගෙ මූණේ තිබ්බේ බැරෑරුම් පෙනුමක්.

“අනේ සදීස්… මම මෙක උබට කොහොම කියන්නද​…. උඹේ පවුලේ ඔක්කොම​…” සෙල්වම්ට ඒක කියන්න ඕන වුණේ නැහැ.

“මට ඒක දැනගන්න ලැබුණා බන්…” සදීස් කඳුලු පිහදමලා සෙල්වම් දිහා බැලුවා.

“මට ඒගැන දුකයි බන්”

“එයාලත් නැතිවුණා කියලා දැනගත්තම මට ඕනවුන එකම දේ උඹව හොයාගන්න එකයි… මම ඒකට කොච්චර මහන්සි වුණාද කියලා උඹ දන්නෙ නැහැ බන්… මේ වෙල්ලමුල්ලිවයික්කාල්වල ගස් ගල් වලට කතාකරන්න පුලුවන්නම්…. ඒ හැම ගහක් ගලක්ම ඒක උඹට කියාවි…”

“මට දුකයි සදීස්… ඔයාගෙ ඒ දුක බෙදාගන්නවත් මට ඔයාලග ඉන්න බැරි වුණා…” සෙල්වා සදීස්ට ආදරෙන් තුරුලු වුණා.

“සෙල්වා… ඉස්සරහට එන්නේ හොද කාලයක් නෙවෙයි… “

“ඇයි සදීස්?”

“මේ යන විදිහට ගියොත් මේ යුද්ධේ තව දවස් දෙක තුනකින් අපි පරදිනවා… ඒක සැකයක් නැහැ.” සදීස්ගේ මුණේ තිබ්බේ පරාජිත බවක්.

“සිංහල හමුදාව අපිව මරන්න එනවද​?”

“නැහැ බන්… සිංහල හමුදාවනම් උඹලාව මරන්නේ නැහැ… ඒත් තව දවස් දෙක තුනක් ඇතුලත යුද්ධේ මෙහෙටම එයි. එතකොටනම් අපි හැමෝම ඉවර වෙයි…”

“මම අහලා තියෙන්නේ සිංහල හමුදාවට අහුවුනොත් ඉවරයි කියලයි”
“නැහැ සෙල්වා… මට ඇත්තටම බය අපේ හමුදාව ගැනයි…”

“ඇයි එහෙම කියන්නේ?”

“ඊයේ මම අපෙ ලොක්කෙක්ගේ වැඩකට යද්දි මට ඇහුනා… එයාලා කතා වෙනවා…”

“මොකක්ද​?”

“අපේ මිනිස්සු ටිකක් මරලා සිංහල හමුදාවෙන් මැරුවා කියලා කතාවක් පතුරවන්න​”

“දෙයියනේ”

“මේ වෙද්දී ගොඩක් අය සිංහල හමුදාව ඉන්න පැත්තට පැනලා යනවා… එහෙම යන අයට හැම පහසුකම්ක්ම දෙනවලු සෙල්වා…”

“අපේ හමුදාව පරද්දන්න සිංහල හමුදාවට පුලුවන් වේවිද​?”

“සාමාන්‍ය මිනිස්සු නොහිටියානම් සිංහල හමුදාව පැයෙන් දෙකෙන් මේ ඔක්කොම අල්ලලා… එයාලා මේ වෙද්දි අහසින් ගහන එක නවත්තලා අහිංසක මිනිස්සුන්ට තුවාල වෙන නිසා.. “

“ මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැහැ සදීස්…”

“මේ වෙද්දී අපේ කොටි හමුදාව මෙහෙම හරි බේරිලා ඉන්නේ අහිංසක මිනිස්සුන්ට මුවාවෙලායි… ඒකයි එයාලා මිනිස්සුන්ට පැනලා යන්න දෙන්නෙ නැත්තේ…”

“ ඊයේ පැනලා ගිය අයට වුනදේ දැක්කම පැනලා යන්න හිතන්නවත් අමාරුයි”

මෙච්චර වෙලා පැත්තක් බලන් හිටපු සදීස් එකපාරටම සෙල්වා දිහා බැලුවා.. ඒ ඇස් වල තිබ්බේ ස්ථීර බැල්මක්.

“සෙල්වා… අපි  සිංහල හමුදාව ඉන්න පැත්තට පැනලා යමු…” සදීස්ගේ වචනවල තිබ්බේ තීරණාත්මක බවක්.

“ඒත්”

“ඔව්… සෙල්වම්… වඩේ වැරදුනොත් අපිව මරලා දායි… හැබැයි… අපි හිටියා කියලාත් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ… කොහොමත් අපි මෙතන හිටියොත් මැරුම්කනවා… අඩුම තරමේ ජීවත් වෙන්න අපි උත්සහයක්වත් ගන්න ඕන​…”
 “ඒත් කොහොමද එක කරන්නේ…”

“මේ වෙද්දි යුද්ධේ දිහා මුලු ලෝකෙම බලන් ඉන්නවා… එක නිසා එයාලා මම වගේ ළමා සොල්දාදුවෝ මේ වෙද්දි පුලුවන් තරම් සටන් තියෙන පැත්තෙන් පිටයි තියන්නේ…. මාව දැන් දාලා ඉන්නේ සමාන්‍ය ජනතාව පැනලා යන එක මුර කරන්නයි... ඉතින් මම මේ පැත්තට එන්නම්… උඹ අම්මා එක්ක ලැස්ති වෙයන්… අදම මේක කරන්න වෙයි… නැත්තම් අපි පරක්කු වැඩි වෙයි…”

“අපි කොහෙඳ යන්නේ…”

“මම එක ඒ වෙලාවට කියන්නම්…”

“මම දැන් යන්න ඕන​…” එහෙම කියපු සදීස් හිටපු තැනින් නැගිට්ටා.

“පරිස්සමින්, පුලුවන් ඉක්මනට ආයෙත් වරෙන්… “

“මම අයෙත් එනවා… පොරොන්ඳු වෙනවා… එහෙම කියපු සදීස් එයාගෙ සාක්කුවකින් අපිරිසිදු වුණු photo එකක් අතට ගත්තා.
“මමනම් ඔයාව හැමදාම මගේ ලග තියාගෙනමයි හිටියේ” එහෙම කියපු සදීස් එයාගෙ සාක්කුවෙන් ගත්තු photo එක සෙල්වම්ට දුන්නා. සෙල්වම්ට අදහාගන්නත් බැරි වුනා. ඒ එදා කොටි කදවුරේදි සෙල්වම් සදීස්ට දුන්නු පින්තූරයයි.

“මම දැන් යන්න ඕන​… මම ආයෙත් ඇවිල්ලා ඕක ගන්නකම් ඕක ඔයා ලග තියාගන්නකො” එහෙම කියලා සදීස් යන්න හැරුනා. ඒ පින්තූරයත් අතෙ තියාගෙන සදීස් ආපහු හැරිලා යන දිහා සෙල්වම් බලන් හිටියේ කඳුලු පිරුණු ඇස් වලිනුයි.

සදීස් ආයෙත් තුවක්කුවත් අරගෙන සෙල්වම්ගෙන් වෙන්වෙලා ගියේ කැමැත්තකින්නම් නෙවෙයි.

*****
නිදහස ​… එහෙම කිව්වට අපි කාටවත් ඒ වචනේ නිවැරදි අර්ථය හිතාගන්න පුලුවන්ඳ​? ඒත් එදා සෙල්වම්ගේ හිතේ තිබුණු බලාපොරොත්තුව වුණේ ඒ නිදහසයි. සෙල්වම්ට එයා ජීවත්වෙන්නේ ඊළමේද නැත්තම් ශ්‍රි ලංකාවේද කියන එකට වඩා වැදගත් වුණේ ඒ එයා විශ්වාස කරපු නිදහසයි.

****

ටිකින් ටික ඉර බැහැලා යන්න පටන් අරන්. පැත්තක මුහුදු හුලග අරන් ආවෙ වෙනදා දැණුනු විදිහේ ලුණුමුසු සුවදක් නෙවෙයි. ඒ හුලගේ තියෙන්නෙ පිච්චුණු වෙඩිබෙහෙත් දුම් ගදට මුසු වුණු ලේ ගද විතරයි. දවල් වගේ නෙවෙයි මේ වෙද්දි වෙදි හඩ ඇහෙන්නේ ගොඩක්ම ලගින්. හැම කෙනෙක්ම බයවෙලා. ඔක්කොම ආරක්‍ෂිත තැන් වල හැංගිලා.

“පුතේ… අපිට තවත් ඉන්න බැහැ…” අම්මගෙ කටහඩ වෙව්ලනවා වගෙයි.

ඒ වෙද්දි හොදටම අදුර වැටිලා... සෙල්වම් තාමත් අම්මාට සදීස් මුණගැහුන බවක් කිව්වේ නැහැ.

“ අපි යන්න ඕන අම්මේ…” සෙල්වම් අම්ම දිහා බැලුවේ බයමුසු බැල්මකින්.

“ඒක ඇත්ත​… මේ යන විදිහට අපි එක්කෙනෙක් හරි අද රැට මෙතන නිදාගත්තොත් හෙට උදේට නැගිටින්නෙ නැහැ…” අම්මගේ වචන වල බරපතලකම සෙල්වාට හොදින් තේරෙනවා. අම්මා කලින් කොටි සාමාජිකාවක් නිසා අම්මට ඒක හොදට තේරෙනවා.

තවත් තත්පර දහයක් ගතවෙන්න ඇති. සෙල්වම් හිටපු තැනත ආයෙත් සදීස් ආවා.

“දෙයියනේ… සදීස්” සෙල්වම්ගේ අම්මාට මොකුත්ම හිතාගන්න බැරි වුණා.

****

මිනිස්සු සිය ගණන් කොටී හමුදාවේ වෙඩී පහරවල් නොතකා නන්ඳිකඩාල් කලපුවේ බැහැලා සිංහල හමුදාව ඉන්න පැත්තට දුවන එක මේ වෙද්දි කොටින්ටත් නතරකරගන්න බැරි වෙලා තිබ්බා. සීයක් යන්න පටන් ගත්තොත් අඩුම තරමේ දහයක් විස්සක් වත් කොටි වෙඩි වලට මුහුණ දුන්නා. ඒ අයගෙනුත් සමහර අය ලේ පෙරාගෙන කොහොම හරි ඉස්සරහත දිව්වා. ඒත් සමහරු නන්ඳිකඩාල් කලපුවේ වාතලයට තමන්ගේ අවසන් හුස්ම එකතු කලා.

“ගමන පටන් ගත්තට පස්සේ ආපහු හැරිල්ලක් නැහැ… අවසානය වෙනකම් යන්න ඕන​… එක වෙලාවක හරි නතර උනොත්… එක තැනක හරි නතර උනොත්… තුවක්කුකාරයෙකුට අපිව ඉලක්කෙට ගන්න පුලුවන් වෙනවා…” සෙල්වම්ගේ අම්මා පරන අත්දැකීම්වලින් උපැස් දුන්නා.

“ඒවගේම තමයි බිම්බෝම්බ​…ඒව නැති තැන් මම දන්නවා… මතක තියාගන්න කලපුවේ වතුරේ පවා බෝම්බ තියෙනවා.” සදීස් කතාවට හවුල් වුනා.

“කලපුව ගොඩක් ගැබුරු නැහැ… ගොඩක් තැන් වල පයගහලා ඇවිදින්න පුලුවන්….” සදීස් තවදුරටත් පැහැදිලි කලා.

“සදීස්… උඹ ඔය ඇදුමෙන් ගියොත් උඹ සිංහල හමුදාවෙන් මැරුම් කනවා… ඕක ගලවලා මගේ එකක් ඇද ගනින්.” සෙල්වන් සදීස්ට එයාගෙ ඇදුමක් දුන්න​.

****
මේ වනවිට මැදියමත් පහුවෙලා. යන්තමින් හද එලියක් තිබ්බත් ලොකු වළාකුලක් හද තිබුණු පැත්තට එන්න පටන් අරන් තිබ්බා. සදීස් මේ වෙද්දි එයාගේ තවත් හිතවත් ළමා සොල්දාදුවෝ දෙන්නෙකුත් එක්ක රහසෙන් වැඩේ ලැස්ති කරලයි තිබ්බේ. එක පාර 200ක් විතර දුවන්නයි සූදානම​.

බොහොම හෙමින් ආපු වළාකුල හද එලිය වහගනිද්දී වෙලාව පාන්ඳර 2 විතර වෙලා.

“හරි… යමු… ඉක්මනින්”
සදීස්ගේ  සංඥාවත් එක්කම සිය ගානක් මිනිස්සු එක තත්පරයකදි කූඩාරම් වලින් එලියට පැනලා නන්ඳිකඩාල් කලපුව පැත්තට දුවන්න ගත්තේ කුලප්පු වුණු කුලුහරක් රැළක් වගෙයි.

ඒත් එක්කම මහ වෙඩී වරුසාවක් ඒ අහිංසක මිනිස්සුන්ගේ පැත්තත එල්ල උනේ කාටවත් හිතාගන්න බැරි විදිහටයි.

එකා පිට එකා ලේ පෙරාගෙන ඇද වැටෙද්දී  ඒ මිණී උඩින් පැනගෙන දුවන මිනිස්සුන්ගේ දර්ශණය පැහැදිළි කරන්න වචන සෙලවම් ලග නැහැ.

සෙල්වම්ගේ අම්මා දිව්වේ සෙල්වම්ට ඉස්සරහින්. ඒත් ඊලග නිමේශයේදි කොහෙන්ඳෝ ආපු උණ්ඩයක් සෙල්වම්ගේ අම්මගේ ඔලුවේ පිටිපස්සෙන් ඇතුලුවෙලා ඉස්සරහින් එළියට ආවා. කපලා දාපු ගහක් වගේ සෙල්වම්ගේ අම්මා කලපු ඉවුරේ ඇදගෙන වැටුනේ තත්පරයකටත් අඩු කාලයකදියි.

“සෙල්වම්…. නැගිටපන් යකෝ… සෙල්වම්…” ඒ සදීස්ගේ හඩ​. ඒත් සෙල්වම් තාමත් අම්මගේ මිණිය බදාගෙන​. වේගයෙන් ඇදිලා ආපු උණ්ඩ වැලි කැට විසුරවගෙන එයාලා අසලින්ම පතිත වුණා.

“අම්මා”

“නවතින්න එපා… දුවපන්….” එහෙම කැගහපු සදීස් සෙල්වම්වත් අතින් ඇදගෙන ආයෙත් ඉස්සරහත් දුවන්න ගත්තා.

“කොටි හමුදාවේ තුන් දෙනෙක් පස්සෙන් එනවා… උන් පස්සේ අයට වෙඩි තියනවා” එකෙක් කැගහන හඩ යන්තමට සෙල්වම්ට ඇහුනා සෙල්වම්ට මතකයි. ඒත් එක්කම සදීස් ආපස්සට හැරිලා බැලුවා.

“උන් ආවොත් අපේ ගොඩක් අය මැරෙයි… මම උන්ව නවත්තන්නම්” එහෙම කියපු සදීස් ආපස්සට හැරුනා.

“පිස්සුද සදීස්…?”

“ඒත් උන් නැවැත්තුවේ නැත්තම් අපි කාටවත් යන්න බැරි වෙයි” එහෙම කියපු සදීස් සෙල්වම්ගේ අත අතහැරියා. කඳුලු පුරවන් හිටපු සෙල්වම්ව ඉස්සරහට තල්ලු කරපු සදීස් තීරණාත්මකව ආපස්ස බැලුවා.

“සදීස්.. අනේ යන්න එපා…” සෙල්වම් කැගැහුවා.

“බයවෙන්න එපා.. එයාලව නවත්තන්න මට පුලුවන්… ඔයා දිගටම ඉස්සරහට යන්න​… අර ඉස්සරහා පේන්නේ සිංහල හමුදාවේ සීමාව.”එහෙම කියපු සදීස් අත්බෝම්බයක් අරගෙන ආපස්සට හැරුනා… දණිස්ස ගාවට නන්ඳිකඩාල් කලපුවේ වතුරේ බැහැලා හිටපු සෙල්වම්ගේ අතෙ මෙච්චරවෙලා උණුසුමට දැවටුණු ඒ සොඳුරු ස්පර්ශය එයාගේ අතින් ගිලිහිලා යනවා සෙල්වම්ට දැනුනා.

*****

මෙච්චර වෙලා  කදුලු පුරවගෙන එයාගේ කතාව අපිට කිව්ව සෙල්වම් නිහඩවම​… ඒත් රතු පැහැවුණු ඇස් දෙකෙන් මගෙත් දසුන්ගෙත් දිහා බැලුවා… ඒ ඇස් වල තවත් අඩන්න කඳුලු නැති තරම්. හීනියට ඉකිබිදුම් ආවත් අඩුම තරමේ අඩන්නවත් සෙල්වම්ගේ පණක් ඉතිරු වෙලා තිබ්බේ නැති තරම්.

සෙල්වම් එයාගේ සාක්කුවට අත දාලා එක අවපැහැ ගැන්වුණු කඩදාසියක් අපෙ පැත්තට දික්කලා. සෙල්වම්ගේ අත වෙව්ලනවා මට යන්තමින් පෙනුනා.

 ඒක photo එකක්. ඒකෙ සෙල්වම් එක්ක තවත් වයස 15-16ක වගේ කොල්ලෙක් කරට අත දාගෙන හිටියා. ඇත්තටම ඒ ලස්සන කොල්ලෙක්. ලෙංගතු, අවංක හිනාවකින් ඒ මුණ සැරසිලා තිබුණා. මට ඒ photo එක මොකක්ද කියලා සෙල්වම්ගෙන් අහන්න හේතුවක් තිබ්බේ නැහැ. මොකද ඒ photo එක මොකක්ද කියලා මට හිතාගන්න අමරු නැති නිසා.

“එදා සදීස් ආයෙත් එනවා කියලා මත පොරොන්ඳු වුනේ නැහැ…” සෙල්වම් කෙදිරිළි හඩකින් කිව්වා.

*****

ඉතින්  මෙච්චර වෙලා සෙල්වම්ගේ කතාව අහගෙන හිටිය අපි දෙන්නම මොකුත්ම කර කියාගන්න බැරුවමූණට මූණ බලාගත්තේ මීලගට කරන්න ඕන මොකක්ද කියලාවත් හිතාගන්න බැරුවයි. අපේ ඇස් වලත් දන්නෙම නැතුව කදුලු පිරිලා.

මම ආපස්සට හැරෙද්දි දැක්කා Dr.විජේවර්ධන අපේ පිටිපස්සේ හිටගෙන ඉන්නවා. සර් ගෙත් මුනේ තිබ්බේ මහ  දික්ඛිත පෙනුමක් කිව්වට වැරදි නැහැ.
*****
සෙල්වම්ව විශේෂ ආරක්‍ෂාවක් ඇතුව නවත්තලා අපි හෙමීට ආයෙත් අපේ කාමර තිබ්බ පැත්තට ඇවිදගෙන ගියා. අපි කවුරුත් හිටියේ ලොකු නිහැඩියාවකින්. සමහරවිට අපේ හිත්වලට දැනුනු ඒ අසම්පූර්ණ හැගීම නිසා වෙන්න ඇති.

“මොකද හිතෙන්නේ හර්ෂණ​…?” Dr. විජේවර්ධන මගේ දිහා බැලුවේ ඒ නිහඩතාවයට විරාමයක් එකතු කරන ගමන්.

“මට මොකුත් කියන්න තේරෙන්නේ නැහැ සර්….” මම හෙමින් කිව්වා.

“ඒ කතාවේ මට මහා අමුතු අසම්පූර්ණ බවක් දැනෙනවා….” මෙච්චර වෙලා නිහඩව හිටපු දසුන් හෙමින් අපි දිහා බැලුවා.

“ඔයාලා හරි… ඒ කතාව ඇත්තටම අසම්පූර්ණයි…. තාමත් ඒ කතාවේ අවසානය  අපි කවුරුත් දන්නෙ නැහැ… වෙන විදිහකින් කියනවානම් ඒ කතාවෙ අවසානය දැනගන්නයි මේ සෙල්වම් හැම වෙලාවෙම උත්සහ කරන්න ඇත්තේ” Dr. විජේවර්ධන කියපු දේ මට එක පාරට තේරුනේ නැහැ.

“ඒ කිව්වේ?”

“මට තේරුනෙත් නැහැ…” දසුනුත් අපේ දිහා බැලුවා.

“අපි හැමෝටම මේක දැනගන්න කලින් තිබ්බ ප්‍රශ්ණය උනේ ඇයි සෙල්වම් මේ විදිහට හැසිරෙන්නේ කියලයි… ඇයි සෙල්වම් IDP කදවුරෙන් පැනලා යන්නේ කියලයි… එයා කදවුරේ හැම තැනම හොයන්නේ කවුද කියන එකයි…. අද ඒකට උත්තරේ අපි දන්නවා… එක සෙල්වම් අපිට අද මේ විදිහට කිව්වා…. ඒත් සෙල්වම්ට තියෙන ප්‍රශ්නෙට අපි කවුරුත් තාමත් උත්තරයක් දන්නෙ නැහැ… සෙල්වම් දැක්කා එයාගේ අම්මා මැරෙනවා… ඒත් සදීස්?... එයා නන්ඳිකඩාල් කල්පුවේදි ආපස්සට හැරුණා විතරයි… ”

“මම හිතන්නේ සර් කියන්න යනදේ තේරෙනවා” මම හෙමින් කිව්වේ සර් දිහා බලාගෙනමයි.

“ඔව්…  සෙල්වම්වත්, අපිවත් දන්නෙ නැහැ සදීස්ට මොකද වුනේ කියලා… ඉතින් සෙල්වම්ගේ හිතේ කොහේහරි කෙලවරක තියෙනවා සදීස් ආයෙත් එයා ලගට එයි කියන බලාපොරොත්තුව​… සදීස් තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන සැකය​….” Dr. විජෙවර්ධන ඈත අහස දිහා බලාගෙන කියනවා මට ඇහුනා.
 වෙල්ලමුල්ලිවයික්කාල් යුධ පිටියේ අවසන් වෙඩි හඩත් මැකිලා ගිහින්. ඒත් තමන්ගේ අතුරුදන් වුණු ළබැඳියන් කවදාක හරි ඒවී කියලා කඳුලු පිරුණු ඇස් වලින් ඒ තල් වැට දිහා උදේ හවා බලන් හිටපු අය අතරේ සෙල්වම් කියන්නේ එකම එක මිනිසෙක් විතරයි.

කාලය බොහොම වේගයෙන් ගතවෙලා ගියා. පුනරුත්ථාපන වැඩසටහන ගොඩක් සංකීර්ණ එකක් වුනා. ඒ හැම තැනකින්මත්… මියගියා කියලා හමුවුණු හැම කෙනෙක්ගෙම තොරතුරු වලිනුත් හෙව්වත් සදීස් ගැන ආයෙත් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. එදා කලපුවේදි සෙල්වම්ගේ අත අත ඇරලා ගියාට පස්සේ සදීස්ට මොකක් වුණාද කියන එක සදාකාලික අභිරහසක්ම වුණා. එදා සෙල්වම් කියපු අසම්පූර්ණ කතාව ආයෙත් කිසිම දවසක සම්පූර්ණ වුණේ නැහැ.

නන්ඳිකඩාල් කලපුවේ වතුරෙ ලේ පැහැය ආයෙත් මැකිලා ගිහින්. දැන් ආයෙත් කලපුව පහුකරන් ලුණුමුසු  සුලං ආයෙත් ගොඩබිමට ඇදීගෙන එන්නේ ඒ අවාසනාවන්ත අතීතය අපේ හදවත් වල සදාකාලික සිතුවමක් කරමිනුයි.

අද කදවුරේ එක හුදෙකලා කුටියකට වෙලා තමන් ජීවත් වෙන ඒ ජීවිතයටත් ශාප කරන ඒ අවාසනාවන්ත අසරණයා දකිද්දී  අපි හැමෝගෙම පපුව වේදනාවෙන් පිච්චිලා යන තරම්….

හිතේ කොහේහරි කෙලවරක සැගවුණු පුංචි බලාපොරොත්තුවක් ඒ ඇවිදින මළකද තාමත් ජීවත් කරනවාට සැක නැහැ… කවදා හරි… කොහේහරි ඉදන් සදීස් එයාව හොයන් ඒවි කියලා ඒ අසරණ හදවත එයාට කියනවා ඇති…

සෙල්වම් වෙලාවකට ඒ කුටියේ කවුලුවෙන් කදවුරේ උතුරු පැත්තේ තිබුණු තල් වැට දිහා බලාගෙන ඒ තල් වැටෙන් එහා පැත්තේ… ඒ බිඳ වැටුණු විජිතයේ  සෙල්වම්… සදීස්… අම්මා… තාත්තා… අයියා… සදීස්ගේ අම්මා…  සදීස්ගේ තාත්තා මේ හැමෝම එක්ක ගෙවපු ඒ රත්තරන් අතීතයේ ආදරණීය මතකය තාමත් සිහි කරනවා…
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment